ණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මගීන්ගේ PCR පරීක්ෂණ සදහා ජෛව සාම්පල ලබාගැනීම සිදු වන නමුත් එම නිදර්ශක පරීක්ෂාවට ලක්කරන ක්‍රමවේදය තවදුරටත් අතිශය ව්‍යාකූල තත්ත්වයක පවතින බව
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්  මහතා පැවසීය.


වෘත්තීයවේදී ආයතනය විසින් පැයක පමණ කාලයක් තුළ අදාළ වාර්තා ලබා දීමට හැකි තාක්ෂණික උපක්‍රම් සහිත පළමු යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණද, ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නොමැති බැවින් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට වාර්තා කිරීමට තීරණය කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම නිදර්ශක ලබාගන්නා ආගමනිකයන් පරීක්ෂණ වාර්තාව ලබා දෙන තුරු අවට ඇති හෝටල් සහ ලැගුම්හල් තුළ රදවන බවට වාර්තා වන බැවින් එය රජයට අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවන ප්‍රායෝගික නොවූ වැඩපිළිවෙළක් බවද කුමුදේශ් මහතා කියා සිටියේය.

සෞඛ්‍ය බලධාරීන්  විසින් අනාගතය පුරෝකථනය කරමින් සූදානම් වූයේ නම් ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළදීම පරීක්ෂාවන් සිදුකළ හැකි රසායනාගාරයක් නිර්මාණය කිරීමට අතිශය ප්‍රමාණවත් කාලයක් තිබියදී ඊට අදාළ යෝජනා අත්තනෝමතික ලෙස ඉවත දැමීම හේතූවන් රජයට සිදු පිරිවැය අදාළ නිලධාරීන් විසින් දැරිය යුතු බව ද එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.


එසේම පූර්ව වශයෙන් ඇති සැලසුම් නොසලකා හරිමින් අනවශ්‍ය ලෙස හදිසි ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය කර ගැනීම මගින් මෙම ආගමනිකයන්ගේ RT-PCR පරීක්ෂණ පෞද්ගලික අංශය වෙත කොන්ත්‍රාත්තුවක් ලෙස පැවරීමට උත්සහ දරන්නේද යන්න පිළිබඳ තම කණ්ඩායම සැක පළ කරන බවද එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ

එනයින්, කිසිදු රාජකාරියකට අනුයුක්ත නොකරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් 100කට ආසන්න ප්‍රමාණයක් නිවෙස්වල සිටියදී හා ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රසායනාගාරයක් නිර්මාණය කර කෙටි කාලයක් ඇතුළත පරීක්ෂණ වාර්තා ලබාදීමේ පූර්ණ හැකියාවක් තිබියදී ඒ පිළිබඳව සාකච්ඡාවක් හෝ නොපවත්වා අනවශ්‍ය ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට අදාළ හේතු විධිමත්ව විමර්ෂණය කරන ලෙසත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනම් අවස්ථාවක් ලබාදෙන ලෙසත් එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

(නවෝද්‍යා පවනි)