සුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අමානුෂික ටයර් පහරකට ගොදුරුවූ පසිඳු හිරුෂාන් සිසුවා දින 98 ක් රෝහල්ගතව සිට ප්‍රතිකාර ලබා ජීවිතය බේරාගෙන යළි මිනුවන්ගොඩ පිහිටි නිවසට යාමට හැකිවීම සතුටට කරුණක් විය. නමුත් ඔහුට මෙම අනතුර නිසා
සිය ජීවිතය යථා තත්වයට පත්කරගන්නට අපහසුවී ඇති අතර යම් යම් දුබලතා දිගටම පවතින්නටත් ඇතැම් දුබලතා සුවවන්නට දිගු කලක් ගතවන්නට ඉඩ පවතින තත්වයක් පෙන්නුම් කර ඇත. පවතින තත්වය යටතේ ඔහුට යළි අධ්‍යයන කටයුතු ඇරඹීමට හැකියාවක්ද නැත.

පාසල් සමයේ සිට විෂය කටයුතු මෙන්ම පරිබාහිර කටයුතුවලටද දක්ෂයෙකුවූ පසිඳු ඒ සාමාර්ථ 3 ක් සහිතව ඉහළින් උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ගොස් තිබූ අයෙකි.
පසිඳුගේ පවුලේ පියා අයියා සහ අක්කා සිටින අතර මව මියගියේ පසිඳු උසස්පෙළ කරන දවස්වලය.
පසිඳුගේ වැඩිමල් සොයුරිය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ

'මල්ලිට පූර්ණ සුවය තවම නැහැ. තනිවම වාරු අරන් ඇවිදින්න බැහැ. දකුණු අත නිසි පරිදි ක්‍රියාකරවන්න අමාරුයි. ලියන්න අමාරුයි.
ඔහුට මේ වනවිට කතාකරන්න අමාරුයි කෑම ගිලගන්න අමාරුයි සමබරතාව නෑ සෑහෙන දුරට මතකය තිබ්බත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු එක ගැන මතකය නැහැ එදා සිදුවූ සිද්ධියත් මතක නැහැ.
විශ්ව විද්‍යාලයෙන් යම් මුදලක් ප්‍රතිකාර වලට ලැබුණා. නමුත් විශ්ව විද්‍යාලවලින් මෙවැනි දෙයක් ඉදිරියට නොවිය යුතුයි.සති 2 කට සැරයක් සායන වලට යන්න තියෙනවා.
අපි මල්ලිව සුවකරගන්න ඉදිරියටත් වෙහෙස ගන්නවා.
මේ තත්වයෙන් හරි මල්ලිව බේරාදුන් ජාතික රෝහලේ වෛද්‍ය හෙද ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.'