සුගියදා පානදුර හිරණදී බොල්ගොඩ ගඟ අසල නවතා තිබූ මරුටි800 වර්ගයේ කාර් රථයක් ගඟට පෙරළී කාන්තාවක මියයාමේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර විභාගයේදී එම සංසිද්ධියෙන් ජීවිතය බේරාගත් කාර් රථයේ සිටි  පිරිමි පුද්ගලයා සාක්ෂි දෙමින් පවසා ඇත්තේ වාහනේ අත් තිරිංග වැරදීමකින් පහත්වීම නිසා
මෙම අනතුර සිදුවූ බවයි.
මීට පෙර මෙම සිද්ධිය සිදුවූ අවස්ථාවේ ඔහු පවසා තිබුනේ තමන් මිනිත්තු 20 ක් පමණ වේලා කාන්තාව සමග කථාබස් කරමින් සිට වාහනය නැවත පණගන්වද්දී එය ගඟ දෙසට ගමන් කළ බවකි. කෙසේ වෙතත් දැන් ඔහු පවසන්නේ ඊට තරමක් වෙනස් කථාවකි.


තමා කාන්තාව සමග කතාබස් කරමින් සිට අත්තිරිංග යොදා නවතා තිබූ වාහනයේ වායු සමීකරණ යන්ත්‍රය පණගැන්වීමට අවශ්‍යතාවයක් මතුවූ බවත් එම අවස්ථාවේ අතවැදී අත්තිරිංග පහතට වැදීමත් සමග වාහනය  පහළට ගමන් ගත් බවයි. නැවත අත්තිරිංග ඔසවන්නට තමා ක්‍රියා කළ මුත් බෑවුම් ගතිය වැඩි නිසා පහළට යාම එම අවස්ථාවේ නතර නොවූ බවයි.

අඳුර වැටී තිබුණ සන්ධ්‍යා කාලයේ 7 ට පමණ බොල්ගොඩ ගඟට මුහුණලා මදක් බෑවුම් ස්ථානයක් තෝරාගෙන තමා වාහනය නතරකර තිබූ බව පවසා ඇති ඔහු තිරිංගයට අතවැදීමත් සමගම රථය එක්වරම බොල්ගොඩ දියඹට ඇදීයාමේදී රථය ලිස්සා ගිය බවත් පසුව ගඟ මැද්දට වාහනය ගමන් කරද්දී තමන් වාහනයේ දොරක වීදුරුවක් ආයාසයෙන් ඇරගෙන එළියට පැනගත් බවයි.
 එම අවස්ථාවේ වාහනයේ සිටි කාන්තාව බේරාගන්නට තමන්ට තනිව හැකියාවක් නැතිවූ බව පවසා ඇති ඔහු අනතුරුව ගඟෙන් පිටතට ඇවිත් අවට සිටියවුන්ට සිද්ධිය දන්වා උදව් ඉල්ලා කෑගැසූ බව කියා ඇත. ප්‍රදේශ වාසීන් එක්වී රථයේ ගිලී සිරවී සිටි කාන්තාව එළියට ගන්නා විට මිනිත්තු 45 පමණ ගතව තිබූ අතර ඇගේ ජීවිතය බේරාගන්නට අපොහොසත්විය.

43 හැවිරිදි බේරුණ පුද්ගලයා සමග මියගිය 28 හැවිරිදි කාන්තාව රත්මලාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන බවත් දෙන්නාම රැකියාව නිමවී නිවාස වලට යන්නට පැමිණියේ මෙම වාහනයේ බවත් ඔහු පවසා ඇත.

කාන්තාව හිරණ ගල්තුඩේ පදිංචි එක්දරු මවක වූ අතර පිරිමියා කළුතර දකුණ ප්‍රදේශයේ විවාහකයෙකි.
පහත් වුණා යයි පවසන අත්තිරිංග පහත්වන අවස්ථාවේ මොහු රියදුරු අසුනේ සිට නැති අතර දෙන්නාම සිට ඇත්තේ පසුපස අසුනේය. ඒ නිසා ඔහුට වාහනයේ ප්‍රධාන තිරිංග පෑගීමේ අවස්ථාව අහිමිව ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවේ.