හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව අද පස්වරුවේ නිවේදනය කළේ ය. අද පස්වරුවේ මාතර පැවති සාකච්ඡාවකදී මංගල සමරවීර මහතා පැවසුවේ, මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බවයි.
මහ මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඡන්ද නාමලේඛනයේ තම නම සටහන්ව තිබුණ ද
තම අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස ඔහු ඉල්ලීමක් කළේ ය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අකාර්යක්ෂම හා අදූරදර්ශී පාලනයක් බවත්, මාස 6ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කරමින් ඇති බවත්, ජාතිවාදය, ආගම්වාදය පතුරා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින බවත්, ඒ හමුවේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්යය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහාගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.


මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය.

තිස් වසරකට අධික කාලයක් මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ නොබිඳුණු ප්‍රතිපත්තියක් වෙනුවෙන් තමා කටයුතු කළ බවත්, මේ රටේ ජීවත්වන සියලු මිනිසුන්ගේ ජීවනාලිය, සහජීවනය සහ මිනිස්කම දශමයකින් හෝ ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියා කළ බව ද  සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, ඒ කාලය තුළ මාතරට මෙන්ම රටට යම් වැඩකොටසක් හෝ සාර්ථකව ඉටුකිරීමට හැකියාව ලැබුණු නමුත් තවත් බොහෝමයක් දෑ රට වෙනුවෙන් කළයුතුව ඇති බව ද එහිදී සඳහන් කර සිටියේය.

කෙසේ නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සමාජ අනන්‍යතා සංස්කෘතීන් ඉවසන,  එකිනෙකා කෙරේ වෛරයෙන් නොබැඳුණු මිනිස් කැළක් හා එක්ව නිවැරදි සංවර්ධන දිශානතියක් ගොඩනැංවීම වෙනුවෙන් නව දේශපාලන ප්‍රවේශයක ඇරඹුමක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ රටේ මිනිසුන් උප්පත්තියෙන් හිමිකර ගත් ජාතිය, කුලය, ආගම, ජන වර්ගය හෝ ලිංගික අනන්‍යතා සාධක තම හිස මත පුරවා නොගත්, දේශපාලන, සංස්කෘතික හා සමාජ කුහකත්වයෙන් තොර සියලු මිනිසුන්ට ආරාධනා කරන බවත් වැඩිදුරටත් අවධාරණ කර සිටියේය.


මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමුගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි අවධාරණය කර සිටි මංගල සමරවීර මහතා, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශීර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්ෂණ පිළිබඳ උපාධිධාරියකු වන මංගල සමරවීර මහතා 1983 වසරේ මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ක්‍රියාකාරී දේශපාලන දිවියට පිවිසුනේ ය.

1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 1994 දී චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මන්ඩලයේ, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයායි.

2005 – 2007 දක්වා මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා 2010 දී එක්සත් ජාතික පක්ෂය සමග එක්විය.

2015 ජනවාරි 12 වනදා යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්වූ ඔහු පසුව එම රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය.