අධිකරණ නියෝගය කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.



අධිකරණ නියෝග නොතකා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවකට සූදානම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඇතුලු 53 දෙනෙකු පොලීසිය අද දහවල් අත්අඩංගුවට ගත්හ.

ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ඇමරිකානු කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මිය යාමේ සිද්ධිය මුල් කර ගෙන ලොව පුරා පැන නැගී ඇති වර්ගවාදයට එරෙහි විරෝධතාවන්ට සමගාමීවයි.

කෙසේ වෙතත්, එම ස්ථානයේ අද දිනයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් ඊයේ අධිකරණය නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

ඔවුන් එම අධිකරණ නියෝගය නොතකමින් විරෝධතාව පැවත්වීමට සුදානම් වූ අවස්ථාවේ පොලිසීය විරෝධතාවට පැමිණ සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කලේය.