පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා  ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නැමති 36 හැවිරිදි තිදරු මව මාස 14කට, එනම් වසරකුත් මාස දෙකකට පසු මේ සති අන්තයේ සිය නිවසට පැමිණියාය.
ප්‍රහාරයෙන් තුවාල ලබා වැඩිම කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ
රෝගියා ඇය වූ අතර ඇය රෝහලින් පිටව ගියේ මෙම ප්‍රහාරයෙන් රෝහල්ගතව සිට නිවසට ගිය අවසන් රෝගියා ලෙසිනි.

පාස්කු ඉරිදා දිනයේදී මීගමුව, කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇය රාගම ශික්‍ෂණ රෝහලේ, කොළඹ ජාතික රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලකදී ද වශයෙන් ශල්‍යකර්ම කිහිපයකටම ලක්ව තිබේ.

රෝහලින් නිවසට පැමිණියද ඇය තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැත.

සුෂුම්නාවට සිදුවු බරපතල හානි නිසා ඇගේ ශරීරයේ ඉනෙන් පහළ කොටස තවමත් අප්‍රාණිකව පවතින අතර තමාගේ වම් ඇස ඉවත් කර ඇති බවත්, අතේ ද ඇඟිලි හැසිරවීම අපහසු බවත් තිළිණා පැවසුවාය.

ඇය වෘත්තියෙන් නර්තන ගුරුවරියකි.

ඇගේ 6 හැවිරිදි දෙවැනි පුතු ද මෙම ප්‍රහාරයෙන් මිය ගියේය.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඇය මෙන්ම ඇගේ මව හා දරු තිදෙනාත් දේවස්ථානයේ සිට ඇති අතර බරපතල තුවාල ලබා සිටි ඇය පළමුව ඇතුළත් කර ඇත්තේ රාගම ශික්‍ෂණ රෝහලටය.

නිවසට ගියත් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින තමාට අවශ්‍ය වියදම් ඇතුළු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් ලබාදෙන බව ද ඇය කීවාය.
(ඩයනා උදයංගනී)