න්දියාවේ අගනුවර රෝහල් ඇඳන්වලින් ඉවත් කරන නව කොරෝනා රෝගීන්ගේ මළසිරුරු තැන්පත් කිරිමට මෘත ශරීරාගාර ප්‍රමාණවත් නොවීමෙන්, ඒවා රෝහල් ලොබිවල ගොඩගැසී ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ සාප්පු සංකීර්ණ සහ ආගමික සිද්ධස්ථාන යළි විවෘත කිරීම සඳහා සුදානමක් පැවතියත්, ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබුණේ,
මෙවැනි ලිහිල් තත්ත්වයකට රට තවම සුදානම් නොමැති බවට අනතුරු අඟවමිනි.
  ඉන්දියාවේ ඇතැම් ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන් චෝදනා කරමින් පවසන්නේ, තම රෝගියා වෙනුවෙන් ඇඳක් ලබාගැනීමට ගියවිට රෝහලින් තමන්ව එලවා ගන්නා බවටය. රෝහල්වල කොරිඩෝ දිගේ නොසැලකිලිමත් ලෙස රෝගීන් ගොඩගසා ඇති බවටද චෝදනා පවතී. මෙවැනි වාතාවරණයක රෝහල් ලොබිවල මළසිරුරුද ගොඩගසා තිබීම සෞඛ්‍ය තත්වය දෙගුණ තෙගුණ කරන්නක් බව ප්‍රාදේශීය මාධ්‍ය අනාවරණය කරයි.

මෙම දැවැන්ත අර්බුදය හමුවේ ක්‍රියාකාරී මට්ටමේ නොවන දුම්රිය මැදිරි රෝහල් බවට පර්වර්තනය කිරීමේ දැඩි තරගයක පිරිසක් නිරතව සිටිති. වසංගතය ආරම්භයේදී ඉන්දියාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මැදිවී 20,000ක් සත්කාරක වාට්ටු බවට පත්කිරීමට පොරොන්දු වු අතර, ඒවා තිර රෙදි සහිත ඇඳන්, හෙද වාට්ටුවක් හා වෛද්‍ය කුටියක් සහිතව නිර්මාණය වන බව කීවේය. ඒ අනුව මේ වනවිට මැදිරි 5,231ක් COVID-19 සත්කාර වාට්ටු බවට පරිවර්තනය කර ඇති බව දුම්රිය මණ්ඩලයේ සභාපති විනෝද් කුමාර් යාදව් සඳහන් කළේය. නමුත් ඉන්දියාවේ වේගයෙන් පැතිර යන වසංගතය හමුවේ මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව විචාරක මතය වී තිබේ.

මීට මාසයකට පෙර දිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ නගරයේ රෝහල් වෛරසයට එරෙහිව සටන් කිරීමට හොදින් සන්නද්ධව සිටින බවය. “දිල්ලිය දිනනවා. කොරෝනා පරදිනවා" ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට මාධ්‍ය කොතරම් උත්සාහ කළත් මහ ඇමතිවරයා, ඔහුගේ කාර්යාලය හෝ නගරයේ සෞඛ්‍ය බලධාරීන් පිළිතුරු  සැපයීමට ඉදිරිපත් නොවෙයි.

මහ ඇමතිවරයා මෙම ප්‍රකාශය  සිදුකරන කාලයේදී දිල්ලි නගරයේ නව කොරෝනා ආසාදිතයන් 10,000ක් පමණ සිටි අතර, මේ වනවිට එම අගය 41,000ක් ඉක්මවා තිබේ. ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වනවිට 343,000ක් ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 10,000කට ආසන්නය. මේ ආකාරයෙන් ඉන්දියාව තුළ ආසාදිතයන් වැඩිවීමට  දිල්ලි,  මුම්බායි හා චෙන්නායි යන නගරවල ආසාදිතයන්ගේ වැඩිවීම ප්‍රබලව බලපා ඇති බව සඳහන් වෙයි.

 ඒ අනුව ඉන්දියාවේ වෙන්නායි හි සිකුරාදා සිට ජුනි මස අවසානය දක්වා මිලියන 15ක පමණ ජනතාවක් යළිත් අගුලු දැමීමකට ලක්වීමට නියමීතව සිටියි. තමිල්නාඩු ප්‍රාන්ත රජය පවසා සිටියේ, චෙන්නායි, තිරුවල්ලුර්, චෙන්ගල්පේට් සහ කාංචිපුරම් දිස්ත්‍රික්ක ජුනි මස 19දා සිට පුර්ණ අගුලු දැමීමකට ලක්වන බවය.
(ada)