කොරෝනාව හේතුවෙන් පීඩාවට පත් වැඩිහිටියන්ට, වකුගඩු රෝගින්ට හා ආබාධිත පුද්ගලයන්ට රජය මගින් බෙදා දීමට දුන් රුපියල් පන්දහසේ දීමනාව ඔවුනට ලබා නොදී හොර අත්සන් යොදා රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිතලගම නැගෙනහිර 3 කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි
එම වසමෙන් ඉවත් කර ඇයට විරුද්ධව විමර්ශනයක් ආරමිභ කළ බව තිහගොඩ ප්‍රාදේශීය  ලේකම් උමේෂා මාතරගේ මහත්මිය පැවසුවාය.

ඒ අනුව අදාළ ග්‍රාම නිලධාරීවරිය විමර්ශන අවසන් වන තෙක් තාවකාලිකව තිහගොඩ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයට අනුයුක්ත කර තිබේ. මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශන කණ්ඩායමක් එම විමර්ශනය ආරම්භ කර තිබෙන අතර එය අවසානයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත. මෙම සිද්ධියට මුහුණ දුන් කිතලගම නැගෙනහිර මැද කොරටුවේ පදිංචිහේවා නඳුන්ගොඩගේ ගුණදාස (75) මහතා පැවසුවේ තමාට ලැබීමට තිබූ මුදලින් කොටසක් මුලින්ම තමන්ට නොලැබුන බවත් පසු ග්‍රාම නිලධාරිනියගෙන් ඒ ගැන විමසූ විට නියමිත මුදල ලබාදුන් බවත්ය. ඔහු මෙසේ ද කීය. "මගේ බිරිය මානසික රෝගී තත්වයක පසු වෙනවා. ඒ වගේම අපි සමෘද්ධිලාභී පවුලක්. මැයි මස 14 වැනිදා මට ආබාධිත දීමනාව රුපියල්න් පන්දහස ග්‍රාම නිලධාරිතුමිය දුන්නා. ඒ අවස්ථාව
කොළ හතර පහකට ඇය මගෙන් අත්සන් ගත්තා. ඒත් මට වැඩිහීටි දීමනාව ලැබුණේ නෑ. මම ඒ ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් සොයා බැලුවා. එහිදී දැනගත්තා මාස දෙකක වැඩිහිටි දීමනාව දසඳහසක් හා ආබාධිත දීමනාව මාසයකට පන්දාහක් රජය මට ගෙවා තිබුණත් ග්‍රාම නිලධාරිතුමිය එම මුදල් මට නොදුන් බව. පසුව ඒ බව දැන ගෙන ග්‍රාමනිලධාරීතුමිය රුපියල් පහළොස් දහසම මගේ අතට දුත්තා. පසුව ග්‍රාම නිලධාරිතුමිය අපේ ගෙදරට ඇවිත් තර්ජනය කරලත් තිබුණා. ඒ ගැන මා තිහගොඩ පොලිසියට පැමිණිලි කළා. වාර දෙකක් පොලිසියට ගියත් ඇය ආවේ නෑ. පසුව දැනගත්තා අපේ ගමේ තවත් බොහෝ පිරිසකගේ මුදල් මේ ආකාරයට වංචනික ලෙස ලබා ගෙන තිබෙන බව.

කිතලගම නැගෙනහිර කුරුඳුවත්තේ පදිංචී එස්. වී. හර්ෂා (35) මහත්මිය,
"මගේ අම්මාට අවුරුදු 71 ක් වෙනවා. කුලී වැඩ කරලයි ඇය ජීවත් වුණේ. තාත්තත් නෑ. අම්මාට මාස දෙකටම වැඩිහිටි දීමනාව ලෙස පන්දහසක් ලැබුණා. තවත් නෑ කියා ග්‍රාමනිලධාරීවරිය කියා තිබෙනවා. පසුව සොයා බලද්දී අම්මාගේ අත්සන හොරට ගසා එම මුදල් ලබාගෙන තිබෙනවා. ඒ ගැන අපි දැනගත්තම පසුගිය 08 වැනිදා එම මුදල ඇය අපේ අම්මා අතට දී තිබෙනවා.

පහල විටියල ඉලංගමකොරටුවේ පදිංචි ජයනි චාමලී (24) මහත්මිය -
“මගේ අම්මාට අවුරුදු 71 ක් වෙනවා. වැඩිහිටි දීමනාව ගන්න පොරොත්තු ලේඛනයෙයි තම තිබුණී. රජයේ මුදල් ගත්ත බැලුවත් ග්‍රාම නිලධාරිතුමිය කීවා පොරොත්තු ලේඛනයේ ඉන්න නිසා ලැබෙන්නේ නෑ කියලා. ඒත් අම්මාගේ වයසේ සමහර අයට ඒවා දී තිබෙනවා. ඒ ගැන තවදුරටත් සොයාබලද්දී අම්මාගේ අත්සන හොරට ගසා ඒ මුදල් අරගෙන තිබෙනවා. මම ඒ ගැන ෆෙස්බුක් එකෙත් පල කළා. ඒක දැකල ග්‍රාම නිලධාරීතුමිය ඇවිත් මට තර්ජනය කරලත් ගියා. කොහොම හරි අන්තිමේදී වංචනික ලෙස ලබා ගත් අම්මාගේ මාස දෙකේ මුදල් පසුගියදා අම්මාට දී තිබෙනවා." චෝදනාවට ලක්ව ඇති ග්‍රාමනිලධාරිනියගෙන් ඒ පිළිබඳව විමසු විට ඇය කියා සිටියේ මේ සම්බන්ධ කිසිවක් පළ නොකරන ලෙසයි. අදාල මුදල් තමා අතින් නැති වූ බවත් පසුව එම මුදල් ලබාදීමට ක්‍රියාකළ බවත් ඇය කීවාය.

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)