සාමාන්‍ය කටයුතු සඳහා රට විවෘත කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සුපරීක්ෂාව යටතේ රූපලාවන්‍යාගාර සහ සැලුත් විවෘත කොට ඇති
පසුබිමක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් බව හගවා, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රූපලාවන්‍යාගාර සහ සැලුන් පරික්ෂා කිරීමට එන බැවින් එය වළක්වාලීමට ඊෂී කෑෂ් ක්‍රමයට මුදල් තැත්පත් කරන ලෙසට දුරකථන ඇමතුම් ලබාදී ඇති බවට එම හිමිකරුවන් කිහිප දෙනකු විසින් පැමිණිලි කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිප දෙනකු
තමන් වෙත දැනුම් දුන් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාෂ්  සුභසිංහ මහතා පැවසීය.
ඊෂී කෑෂ් ක්‍රමයට මුදල් තැන්පත් කරන ලෙසට ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ස්ථානයකට ලැබී ඇති දුරකතන ඇමතුමකට අනුව එහි හිමිකාරිය විසින් රුපියල් 10,000 ක  මුදලක් තැන්පත් කොට ඇති බව එම හිමිකාරිය තමන් වෙත ප්‍රකාශ කළ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක  සුසන්ත බණ්ඩාර මහතා පැවසීය.

 මෙලෙස කප්පම් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මෙලෙස කප්පම් ඉල්ලා සිටීම ගම්පහ නගර සභා සීමාව තුළ සිදු කෙරෙන ආකාරයක් පෙනෙන්නට ඇති බවත් මෙම ක්‍රියාව මෙහෙයවන පුද්ගලයා හෝ සංවිධානය සෞඛ්‍ය අංශ ක්‍රමවේදය පිළිබඳව හොඳින් දන්නා බව පෙනී යන බවත්ය.
මෙවන් වංචනික පුද්ගලයන්ට මුලා නොවන ලෙස රෑපලාවන්‍යාගාර සහ සැලුන් පවත්වාගෙන යනු ලබන සහ සියලුම ව්‍යාපාරික මෙන්ම ආයතන හිමිකරුවන් වෙත දැනුම් දෙන බව පැවසූ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාෂ් සුභසිංහ මහතා තවදුරටත් කියා සිටියේ. කප්පම් ඉල්ලා සිටිමින් දුරකථන ඇමතුමක් ලද හොත් ඒ අනුව කිසිම විටෙක කටයුතු නොකරන ලෙසත් වහාම පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගන්නා ලෙසත්ය.

(ගම්පහ තිලකරත්න  දිසානායක)