මෙම අපරාධය සිදු වූයේ ජනාධිපති වෙසෙන නුගේගොඩ පැඟිරිවත්ත මාර්ගයේ සිට මීටර 150කටත් අඩු දුරකින්ය. දිවා කාලයේ සිදු වී ඇති මෙම පහර දීම පිළිබඳ ස්මාට් ෆෝන් දර්ශනවල දක්නට ඇත්තේ  දුබලව බිම දිගා වී සිටින මිනිසෙකුට පොල්ලකින් පහර දෙන අයුරුය.
ස්වයං රැකියා වෘත්තිකයන්ගේ සහ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ 53 හැවිරිදි සුනිල් ජයවර්ධගේ මරණය රට පුරා කම්පනයක්
ඇති කිරීමට සමත් විය. ඊට එක් හේතුවක් වන්නේ ඔහුගේ මරණය අපරාධයක් වීමය. අනෙකුත් හේතුව වන්නේ “ගොඩ ෆිනෑන්ස්” ලීසිං ආයතනවලට ශ්‍රී ලංකා වාසීන් බොහෝ දෙනෙකු සම්බන්ධ වීමය.
අවිධිමත් ලෙස ණය ලබා දෙන මෙවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් දැකගත හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව බොහෝ කලක සිට පවසා තිබෙන්නේ ගනුදෙනු සිදු කිරීමේදී ලියාපදිංචි වූ ආයතන සමඟ එසේ කිරීම මහජනයා සතු වගකීමක් බවය. එසේ මහ බැංකුව මෙම ගැටලුවෙන් නිදහස් වී සිටී.


“ගොඩ ෆිනෑන්ස්” ආයතන වසංගත කාලය පුරාවට පැහැදිලිවම දැකගත හැකි විය. තී රෝද රථ, පාසැල් වෑන් රථ, ලොරි රථ, කුඩා ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථ, බස් රථ සහ අයිතිකරුවන් හෝ ස්වයං රැකියාවන්හි නිරත වන පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් බයිසිකල් සහ ටැක්සි සඳහා වාරික ගෙවීමට මාස 6ක සහනයක් ලබා දෙන මෙන් රජයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලීසිං ආයතනවලට මඟ පෙන්වූ බව සඳහන්ය.

නමුත් ලියාපදිංචි නොවූ සමාගම් මෙම මඟ පෙන්වීම් විශාල වශයෙන් නොසලකා හැර තිබෙන බවට වාර්තා වේ. මෙවැනි කරුණක් මත තම සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් ආරවුලකට පැටලීම ඔහුගේ මරණයට හේතු වූ බව සඳහන්ය. මංජුල කිත්සිරි නමැත්තා‍ගේ ත්‍රීරෝද රථය “චන්මිල් ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම” විසින් ඔවුන්ගේ භාරයට රැගෙන තිබේ. නමුත් ඔහු විසින් පෙබරවාරි මාසය වන තෙක් නොකඩවා මාසික වාරික ගෙවා ඇති බව සඳහන්ය.
වසංගතයේ බලපෑමත් සමඟ කිත්සිරි රැකියාවේ නිරත වී නොමැතිය. ණය වාරික සහනය හරහා තමාටද සහනයක් ලැබූ ඇතැයි ඔහු බලාපොරොත්තු වූ බව සඳහන්ය. නමුත් තම ත්‍රීරෝද රථය නොගන්නා ලෙස කොතරම් ඉල්ලා සිටියද තමන්ට හැකියාව ලැබූ විගස ගෙවීමට ඔහු කොතරම් පොරොන්දු වුවද ඒවා නොසලකා හැර ඔහුගේ ත්‍රීරෝද රථය එම ආයතනය විසින් ලබාගත් බව වාර්තා වේ.

වාරික නොගෙවීමේදී වාහන නැවත ලබාගැනීම සඳහා අවිධිමත් ලීසිං ආයතනවල සිටින පුද්ගලයන් සියලුම ත්‍රීරෝද රථ සංගම්වලට හුරුපුරුදුය. මෙසේ නැවත ලබාගන්නා සෑම වාහනයක් වෙනුවෙන්ම එම පුද්ගලයන්ට ගෙවීමක් සිදු කරනු ලබයි. එම පුද්ගලයන්ට තිබිය යුතු සුදුකම වන්නේ වාරික නොගෙවූ පුද්ගලයන්ව බිය ගැන්වීම සහ ගෙවන ලෙස බලපෑම් කිරීමට හෝ වත්කම් ලබාගැනීමට අවශ්‍ය අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරීව හැසිරීමය.
මෙම ක්‍රම දෙකම නීත්‍යානුකූල නොවන නමුත් බොහෝ ආයතන විසින් භාවිත කරනු ලබයි. ආයතනවලට වාහනයේ අයිතිය නැවත ලබාගත හැකි වන්නේ පොලීසිය මාර්ගයෙන් පමණය. නමුත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඉතා කලාතුරකින්ය.

වාර්තා වන පරිදි කිත්සිරි මහතාගේ ගැටලුවට ජයවර්ධන මහතා මැදිහත් වී තිබේ. ඇඹුල්දෙනියේ ලීසිං ශාඛාව විසින් පවසා තිබෙන්නේ මහ බැංකුව හෝ රජය විසින් ලබා දුන් මඟ පෙන්වීම ඔවුන්ට අදාළ නොවන බවය. ඉන්පසු මොවුන් දෙදෙනා පැඟිරිවත්තේ ජනාධිපති නිවස කරා ගමන් කර තිබෙන අතර එහි සිටි අදාළ පුද්ගලයෙකු හරහා වේලාවක් වෙන් කරගෙන තිබේ.

වාර්තාවලට අනුව, ජනාධිපති කාර්යාලය තුළදී එහි නිලධාරියෙකු විසින් චන්මිල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ හිමිකරුට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ලද අතර වසංගතය ආරම්භ වූ දිනය දක්වා අදාළ වාරික නිසි කලට ගෙවා ඇත්නම් ත්‍රීරෝද රථය නිදහස් කර දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබේ.

එම ආයතනය මීට එකඟ වූ බව ජයවර්ධන මහතා වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකයෙකු පවසා තිබේ. නමුත් පසුවදා ඔවුන් ඇඹුල්දෙනිය ශාඛාවට ගමන් කළ විට අදාළ ගෙවීම සිදු කරන තුරු ත්‍රීරෝද රථය නැවත ලබා දීමට එහි සේවකයන් එකඟ වී නොමැතිය. රජයේ හෝ මහ බැංකුවේ මඟ පෙන්වීම් තමන්ට අදාළ නොවන බව ඔවුන් නැවත පවසා තිබේ.
පසුව ඔවුන් කාර්යාලයෙන් පිට වී තිබේ. එම දිනම චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයකට සහභාගි වීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි. නමුත් එම විරෝධතාව පොලීසිය විසින් තහනම් කර ඇති අතර ඔහු සහ ඔහුගේ මිතුරන් මත්පැන් තොලගෑමට තීරණය කර තිබේ.

චන්මිල් ඉන්වෙස්ට්මන්ට් ඇඹුල්දෙනිය ශාඛාව පිටුපසද වාරික නොගෙවූ වාහන යළි ලබාගන්නා පුද්ගලයන් සහ සේවක පිරිසක්ද ඇල්කොහොල් පානය කර තිබේ.
ජයවර්ධන මහතා චන්මිල් ඉන්වෙස්ට්මන්ට් වෙත නැවත යෑමට වෑයම් කළ විට ඔහුගේ මිතුරන් විවිධ දේ පවසමින් ඔහුව අධෛර්යයට පත් කිරීමට උත්සාහ කර තිබේ. නමුත් ජයවර්ධන මහතා සංගමයේ ලේකම් වන මහින්ද කුමාරද සමඟ එම ස්ථානයට ගමන් කර ඇත. මොවුන් සහ එම ආයතනයේ පුද්ගලයන්ද වෙරි මතින් පසු වී තිබෙන බැවින් දෙපිරිසම සැරසී තිබෙන්නේ මතගැටුමකටය. ජයවර්ධන මහතා තදින්ම පහර කෑමට ලක් වී ඇති අතර ඔහු දුර්වලව බිම වැතිරී සිටින විටද ඔහුට පහර දී ඇති බව වාර්තා වේ. පසුව ඔහු රෝහල තුළදී මිය යන ලදි.
සිද්ධියට අදාළ පුද්ගලයන් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බව සඳහන්ය. නමුත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ කිසියම් බලවතෙකුගේ සහය ඇතුව ඔවුන් නිදහස් වේවියැයි ඔහුගේ මිතුරන් සැක පළ කරන බවය.

මෙවැනි නීති ‍විරෝධී ආයතන හේතුවෙන් ඇති වී තිබෙන ගැටලු අලුත් දෙයක් නොවේ. ලියාපදිංචි ආයතන මගින් ලීසිං ලබාගැනීමේදී බොහෝ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු වුවද ගොඩ ෆිනෑන්ස් ආයතනවල එසේ නොවීම, වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් කාර්යයන් සිදු කරගත හැකි වීම වැනි හේතු මත බොහෝ පුද්ගලයන් මෙවැනි ලියාපදිංචි නොවූ ආයතන කරා යොමු වනු දැකගත හැකිය. මෙවැනි ආයතනවල බොහෝ විට වාරික ගෙවීමේ ක්‍රමයට වාහනයක් ලබාගැනීමේදී සාක්ෂිකරුවන්ද අත්‍යවශ්‍ය වන්නේ නැත.
“ලියාපදිංචි කරන ලද සහ ප්‍රසිද්ධ ලීසිං ආයතනයක් හරහා මා වාහනයක් ගෙන තිබෙනවා. එහිදී ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන ලියවිලි බොහොමයක් අත්සන් කිරීමට සිදු වුණා” එක්සත් ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති රෝහන පෙරේරා පවසයි. “ගොඩ ෆිනෑන්ස් ආයතනවලද අත්සන් කිරීම සඳහා ලියවිලි තිබුණද ඒවා සිංහලෙන් තිබුණද එම භාෂා රටාව බොහෝ ජනයාට නොතේරේ. නමුත් ඔවුන් සෑම පිටුවකම ඉහළ සහ පහළ අත්සන් යොදයි.” ගොඩ ෆිනෑන්ස් ආයතන මගින් ඉහළ පොළියට ණය වාරික පැකේජද හඳුන්වා දී තිබේ.

“ශ්‍රී ලංකාව තුළ බස් රථ 28,000ක් පමණ ධාවනය වෙනවා. ඒවා නියාමනය කිරීම සඳහා පළාත් කවුන්සිල 9 තුළ ගමනාගමන අධිකාරීන් 9ක් ක්‍රියාත්මක වෙනවා. ඊට අදාළව මධ්‍යම රජයේ ඇමතිවරයෙක්, ප්‍රාදේශීය ඇමතිවරයෙක් සහ නිලධාරීන් සිටිනවා. නමුත් මිලියන 1.3ක් පමණ ත්‍රීරෝද රථ නියාමනය කිරීම සඳහා එක් ආයතනයක්, නිලධාරියෙක් හෝ ඇමතිවරයෙක් නැහැ”  ඔහු අදහස් දැක්වීය.

තමන්ට තිබෙන සියලුම ගැටලු සහ යෝජනා ඉදිරිපත් කරමින් යොමු කරන ලද ලිපියකට කලින් පිළිතුරු නොලැබුණ බව සඳහන්ය. ජයවර්ධන මහතාගේ මරණින් පසුව, ගෙවීම අතපසු වූ වාහන නැවත ලබාගැනීම අත්හිටුවන ලෙස ලීසිං ආයතනවලට අණ කරන ලෙස ජනාධිපතිතුමා විසින් පොලීසියට දන්වා තිබෙන බවට වාර්තා වේ. එමෙන්ම ලීසිං ගෙවීම් නැවත ලබාගැනීම මාස 6කට අත්හිටුවන ලෙස මාර්තු 23වෙනිදා නිකුත් කරන ලද චක්‍ර ලේඛයක් පිළිබඳවද ඔහු නැවත සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීරද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ජයවර්ධන මහතා ත්‍රීවීල් රියදුරන්ගේ වෘත්තිය පිළිබඳව රැස්වීම් අතරතුර කිහිප වතාවක්ම සඳහන් කර තිබෙන බව ඔහු පැවසීය.
“මෙම කර්මාන්තය සඳහා ඔහු කිසිම විටෙක රජයෙන් කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ මහමාර්ගයේ මුහුණ දෙන විවිධාකාර අභියෝගවලින් තම සාමාජිකයන්ව ආරක්ෂ කරන්න සහ ඔවුන්ගේ වෘත්තීය පහසුවෙන් සිදු කළ හැකි වටපිටාවක් නිර්මාණය කිරීමය” අමරවීර මහතා සඳහන් කර තිබේ.

(“සන්ඩේ ටයිම්ස්” පුවත්පතට නමිනී විජේදාස විසින් පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක
[June15, 2020 - Gossiplankanews.com]