කොරෝනා නිසා දුරස්වූ බ්‍රසීලයේ වැඩිහිටියන් සමීප කළ හාදු උමග

Ad Code

කොරෝනා නිසා දුරස්වූ බ්‍රසීලයේ වැඩිහිටියන් සමීප කළ හාදු උමග

කොරෝනා ‍වෛරස් වසංගතය අතරතුර දකුණු බ්‍රසීලයේ වැඩිහිටි නිවාසයක සිටින පුද්ගලයන්ට තම නෑදෑ හිතවතුන්ව ආරක්ෂිතව වැළඳගැනීමට ඉඩ සලසන ක්‍රමයක් නිර්මාණය කර ඇති බව CNN වාර්තා කරයි.
මෙම අදහස ඇති වී තිබෙන්නේ පසුගිය මාසයේදීය. රියෝ ග්‍රැන්ඩේ ඩෝ සල් ප්‍රදේශයේ තිබෙන Três Figueiras ගොඩනැඟිල්ලේ වැඩිහිටි නිවාසයේ
සිටින ඇතැමුන් අධෛර්යයට පත්ව සිටින අයුරු දැකීමෙන් පසුව මෙවැනි ක්‍රමයක් නිර්මාණය කිරීමට අදහසක් පහළ වී තිබේ.
“අපේ නිවාසයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දුකෙන් සිටින බව අපට පෙනුණා” කියා නිවාසයේ හිමිකාරිනියක් වන ලුසියානා බ්‍රිටෝ CNN වෙත සඳහන් කළාය. “ඔවුන්ගේ නෑදෑයන්ව වැළඳගැනීමට අවස්ථාව ලබා දීම සඳහා අප යම් සැලැසුමක් යෙදුවොත් ඔවුන් සතුටු වෙයි කියා අප සිතුවා.”

මෙම නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 28දෙනෙක් දිවි ගෙවන අතර මාර්තු 17වෙනිදා සිට නිවාසයෙන් පිටත පුද්ගලයන් සමඟ කතාබහ කිරීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ වීඩියෝ කොන්ෆරන්සිං හරහා පමණය.

එක්සත් ජනපදයේ කාන්තාවක් ඇගේ මවව වැළඳගැනීමට පොලිතින් තිරයක් නිපද වූ බව සඳහන් වූ වීඩියෝවක් බොහෝ පුද්ගලයන් අතරේ පැතිර යන ලදි. වැළඳගැනීම සඳහා සූදානම් කළ හැකි අලුත් ක්‍රමයක් පිළිබඳ අදහසක් තමන්ට පහළ වූයේ එම වීඩියෝව මගින් බව බ්‍රිටෝ CNN වෙත සඳහන් කළාය.

නිවාසයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැළඳගැනීම සඳහා නිපදවන ලද කුටිය පොලිතින්වලින් ආවරණය කර ඇති අතර එහි ඇතුළත සිටින පුද්ගලයාගේ අත් එළියට දැමීම හා පිටත සිටින පුද්ගලයාගේ අත් ඇතුළට දැමීම සඳහා අතක් බැස්විය හැකි පොලිතින් ආවරණද එහි සහිතය. සෘජු ශාරීරික සබඳතාවකින් තොරව තමා ආදරය කරන පුද්ගලයන්ව වැළඳගැනීමට මෙම නිපැයුම මගින් ඉඩ සලසා දෙනු ලබයි.

මෙම නිවාසය තුළ දිවි ගෙවන එරාල්ඩෝ ක්වින්ටානා කියා සිටියේ මෙය නියම නිපැයුමක් බවය. “මගේ දියණියන් දෙදෙනා මාව බලන්න ආවා. ඔවුන්ව දැකීම මට විශාල සතුටක්” ‍ ඇය CNN වෙත අදහස් දැක්වුවාය.
“වැළඳගැනීමේදී මා සහ එම පුද්ගලයා අතර පොලිතින් තිබීම නිසා එය සාමාන්‍ය වැළඳගැනීමක් ලෙසම දැනෙන්නේ නැහැ. නමුත් මෙවැනි නිපැයුමක් නොතිබුණේ නම් කොරෝනා වෛසරය හේතුවෙන් වැළඳගැනීමට අප තුළ තිබෙන්නේ බියක්ය”  ඇය තවදුරටත් පැවසුවාය.


මෙම වැළඳගැනීමේ කුටිය සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගත යුතු නිසා බැහැදැකීමට පැමිණෙන පුද්ගලයන්ව කලින්ම සැලසුම් කරනු ලබන අතර එය සෑම බැය භාගයකට වරක්ම විෂබීජනාශනය කරන බව මෙම නිවාසයේ අධ්‍යක්ෂකවරිය වන රූබියා සැන්ටෙ‍ාස් විසින් එම නිවාසයෙහි නිල ෆේස්බුක් පිටුවට එක් කළ වීඩියෝවක සඳහන් විය.

සෑම පුද්ගලයෙකුගේම භාවිතයෙන් පසුව මෙම වැළඳගැනීමේ කුටිය පිරිසිදු කරනු ලබයි. කුටියට ඇතුල් වීමට පෙර ඇතුල් වන පුද්ගලයාගේ උෂ්ණත්වය මැන බලනු ලබන අතර ආලේප කරගැනීම සඳහා විෂබීෂනාශක දියරද ලබා දෙනු ලබන බව ඇය සඳහන් කළාය.
“ඔබත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවාතැන් ගන්නා වැඩිහිටි නිවාසයක හිමිකරුවෙක් නම් මෙැවනි සැලැස්මක් ඇති කරන ලෙස මම නිර්දේශ කරමි. ඔවුන් එකිනෙකාව වැළඳගෙන සතුටක් ලබන ආකාරය දකින විට අපටද එයින් සතුටක් හිමි වේ.”
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව මේ වන විට කොරෝනා වෛරසය එම රට තුළ (බ්‍රසීලයේ) ජීවිත 46,500ක් බිලි ගෙන ඇති අතර එක්සත් ජනපදයට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්ය.
ජූනි මුල සිට රට විවෘත කිරීම ආරම්භ වූ අතර එහි ජනපති බොල්සොනාරෝ පවසා ඇත්තේ කොරෝනා වෛරසය යනු “සුළු උණ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක්” බවය. නමුත් රට විවෘත කිරීමට ඉක්මන් වීම හේතුවෙන් නැවතත් නව ආසාදිතයන් රැසක් බිහි වන්නට ඉඩ ඇතැයි ප්‍රවීණයෝ සැක පළ කරන බවට වාර්තා වේ.

(CNN ඇසුරිනි)
එස්. දහනායක
[June20, 2020 - Gossiplankanews.com]





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu