සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහට "යම් කිසි ආකාරයක තර්ජනයක් එල්ල කර ඇතැයි" රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා පැවසීය.
"අපට දැනගන්න ලැබිල තියෙනව, තොණ්ඩමන් මහත්තයගෙ පුතා යම්කිසි ආකාරයක තර්ජනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරල තියෙනවා. ඒ සම්බන්ධයෙනුත් අපි අප්‍රසාදය පළ කරල තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමකුත් කරල තියෙනව," යනුවෙන් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කළේය.


මේ සම්බන්ධයෙන් වෛද්‍ය අනිල් ජාසිංහගෙන් තොරතුරු විමසීමට උත්සහ කළ ද ඔහු දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

සිදුවීම ගැන සටහනක් තබමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ප්‍රශ්න නගන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිඥා දුන් විනය ගරුක සමාජය මෙය දැයි යනුවෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, "එහෙම කතාවක් ආරංචි වුණු" බවය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් "වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් කර නොමැති හෙයින් පරීක්ෂණයක් කර නොමැති" බව ඔහු පැවසීය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට කියා සිටියේ, "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අදාළ පුද්ගලයාගෙන් තර්ජනයක් එල්ල වී ඇත්නම් ඊට අප්‍රසාදය පළ කරන අතර, පැමිණිල්ලක් කළහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන," බවය.

(බීබීසී සන්දේශයේ උපුටාගැනීමකි)