සුගියදා කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ පිරිසකට පිස්තෝලයක් පෙන්වා රුපියල් 79 ලක්ෂයක මුදල් කොල්ලයක නිරතවූ වෛද්‍යවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙයි.
අත්අඩංගුවට පත්වූ පසුව ඔහු විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි බවත් දන්නා හඳුනන බොහෝ පුද්ගලයන්ට ණය වී සිටි බවත්
පොලිසියට පවසා ඇත. ණයකාරයන්ද නිතර දෙවේලේ ඔහුට කරදර කරමින් මුදල් ඉල්ලා සිටි නිසා තමා මෙම කොල්ලය සලසුම් කළ බව ඔහු කියා ඇත.
මාස කිහිපයක් රාජකාරි කරද්දී හොර රහසේම ජාතික රෝහල ඇතුළේ සිදුවෙන දේ පිළිබඳව අධ්‍යයනය කළ ඔහු ගිණුම්කරණ අංශය තුළ සිදුවන දෑ පිළිබඳව ඇස ගසාගෙන සිට ඇත.

රෝහල් කාර්ය මණ්ඩලයට අතිරේක දීමනා ගෙවන දිනය සහ ඒවා ගෙවන අකාරය පිළිබඳව මොහු ඉතා සුක්ෂ්ම ලෙස සොයා ගත් අතර හඳුනාගන්නට බැරි ආකාරයට බොරු කොණ්ඩයක් හිසෙහි රඳවාගෙන සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා 'ඔලුව කුඩු කරන බවට' තර්ජනය කර මුදල් කොල්ලය සිදු කර තිබුණි.

 මාතර කොට්ඨාසයේ ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය  සහ තවත් පොලිස් නිලධාරීන් දෙන්නෙකු ඔහු ලුහුබැඳ පහසුවෙන්ම අල්ලා ගෙන තිබුණි. ඔහු අල්ලා ගන්නා අවස්ථාවේ බොරු කොණ්ඩය පිටතට වැටී එල්ලෙමින් තිබුණි.
මෙම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14)අලුයම මියගොස් ඇති බවද කණගාටුදායි ලෙස වාර්තාවිය.

කොල්ල සිද්ධියෙන් පසු වාර්තා වූයේ මෙම වෛද්‍යවරයා අල්ලාගත් වරුණි බෝගහවත්ත මහත්මිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මකවූ බවකි. ඒ අදාළ නොවන රාජකාරී කටයුුතු ඉටුකිරීම සම්බන්ධයෙනි. ඇය ප්‍රසිද්ධව සිටියේ කන්‍යාවියන් සියගණනක් දූෂණය කළ බවට කතා පැතිර තිබූ අකුරැස්සේ ප්‍රදේශීය දේශපාලනඥයෙකු අල්ලා අධිකරණයට ඉදිරිපත් කළ නිලධාරිනියක ලෙසිනි.

ජාතික රෝහලේ කොල්ලය සිදු කළ  වෛද්‍ය සැකකරු රඳවාගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු පැවසුවේ තමන් කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයකු බවත් ආර්ථික ප‍්‍රශ්න නිසා මෙලෙස මුදල් මංකොල්ලකෑ බවත්ය. කෙසේ වෙතත් මොහුගේ බිරිඳ මෙම සැකකාර වෛද්‍යවරයා මානසික රෝගයකින් පෙළෙන බව පවසා බේරා ගැනීමේ දැඩි උත්සාහයක යෙදෙන බවටද මේ වනවිට ආරංචි පළව තිබේ.
මෙම කොල්ලය වෛද්‍යවරයා තනිව සැලසුම් කළ එකක් නොවිය හැකි බවට සැක පවතින බව මේ ගැන පරීක්ෂණ පවත්වන නිලධාරීන් දන්වා තිබේ.