ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනට මැර ප්‍රහාරයක් එල්ල කොට මරා දැමු ආකාරය ගැන මේදක්වා හෙළි නොවූ කරුනු කිහිපයක් මේ වනවිට හෙළිව තිබේ.
සුනිල් ජයවර්ධන සිය මිතුරකුගේ කාරයේ නැඟ අසාධාරණයට ලක්වූ රියදුරු සමඟ චන්මිල් ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගමට සිද්ධියට පෙර දිනයේ 9 දා ගියේ
පොලිසියේ උපදෙස් පරිදි කාරණය සමථයකට පත්කර ගැනීමටය. නමුත් ඒ අවස්ථාවේදී සමාගමේ කළමනාකරු එහි නොසිටි අතර සිද්ධිය සාකච්ඡා කර තම මුහුණුපොතෙහි වීඩියෝ පටයක් මඟින් ජනපතිව අමතා අසාධාරණය කියන්නට සුනිල් කටයුතු කළේය.

අනතුරුව පසුදා 10 වැනිදා උදේ චන්මිල් ඉන්වෙස්ට්මන්ට් වෙත නැවත වරක් අසාධාරණයට ලක්වූ ත්‍රීරෝද රියදුරා හා පෙරකී සංගමයේ ලේකම් මහින්ද කුමාර සමග මියගිය සුනිල් ගොස් ත්‍රීරෝද රථය බේරාගන්නට කථාකර තිබුනේ කළමනාකරු හමුවෙමිනි. ඔහු ඔවුන් සනසමින් ත්‍රීරෝද රිය එදින බේරාදෙන බව කියා ඇති නමුත් එවැන්නක් සිදු නොකළ ඔවුන් මුදල් සියල්ල ගෙවනතුරු එය කළ නොහැකි බව අවසානයේ දන්වා ඇත.

හිස් අතින් පිටව ගිය පිරිස අනතුරුව විවිධ කටයුතු සඳහා එහා මෙහා ගොස් තිබූ අතර නැවත නිවෙස් බලා යාමේ අටියෙන් සුනිල්ට අයත් ත්‍රීරෝද රියෙන් තිදෙනාම ගමන් කර නුගේගොඩින් අසාධාරණයට ලක්වූ රියදුරු බස්සවා ලේකම් මහින්ද සමග සුනිල් , චන්මිල් ඉන්වෙස්ට්මන්ට් ආයතනය අසළින් ගොස් ඇත්තේ සවස 6 ට පමණය. ඔවුන්ට ආයතනයට  එම වේලාවේ යන්නට උවමනාවක් තිබී නැති අතර කිසියම් පිරිසක් ඔවුන් ලුහුබඳිමින් සිට ආයතනය අසළදි නවතා ඇති බව කියැවේ.


ත්‍රිරෝද රථය නවතා ඇති මැර පිරිස ඔවුන්ට බැන වදිමින් පහරදීමට පටන්ගෙන තිබේ. උදේ ඇවිත් පාට්
දැම්මා නේද අසමින් 8ක්  10ක් පමණ පිරිසක් ඔවුන් වට කරගෙන පහරදුන් බව කියැවේ.
පහරදුන් අය සුනිල්ගේ හිසට සපත්තුවලින් සහ පොලුවලින් පහරදී තිබෙන බව ලේකම් මහින්ද කියයි. එසේම මුහුණ පාගාගෙන සුනිල්ට දස වධ දුන් බවද ඔහු කියයි. මහින්ද කියන හැටියට සුනිල්ට විනාඩි 10-12ක් පමණ පහර දී ඇත. තමා පාරේ අනෙක් පැත්තට පැන්න නිසා තමන්ව බේරුණු බව ඔහු කියා ඇත.
උදේ සිදුවීමෙන් පසු අදාළ ආයතනයේ පිරිස් සුනිල් සහ තමන් පිටුපසින් පැමිණ ඔත්තු බැලූ බවද කියන මහින්ද මේ පහරදීම සහ මිනී මැරීම සැලසුම්සහගතව කළ එකක් බව කියා තිබේ.

සුනිල් ජයවර්ධනට පහරදීම සිදුවෙන විට වේලාව සවස 6.00 _ 6.15 පමණ ඇත.වාහන තදබදය නිසා වෙනදා වාහන හැසිරවීමට පොලිස් නිලධාරීහු සිටිති. නමුත් මේ සිද්ධිය වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිට නැත. සිද්ධිය ඇසින් දුටුවන් කියන හැටියට ත්‍රිරෝද රථයක් චන්මිල් ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගමට නුදුරින් නවතා ඉන් දෙදෙනකු බැස එම ආයතනය අසල සිටි අයට කතා කිරීමට ගොස් ඇත. එවිට එහි සිටි හැඩි
දැඩි අයෙක් එක්වරම ත්‍රිරෝද රථයේ පැමිණි අයකුට වැරෙන් පහරක් ගසා ඇත.

එවිට පහර කෑ පුද්ගලයා බිම ඇදවැටුණු බවත් ඔහු අත වූ ජංගම දුරකථනය පාරට විසිවූ බවත් කියැවේ. එම අවස්ථාවේදී ජුබිලි කණුව දෙසින් නිල් පාට කාරයක් පැමිණ ඇත. එම කාරය ඒමට පෙර පහර කෑ පුද්ගලයා සිය දුරකථනය කාරයට යටවේවි යැයි කියා එය ඇහිඳීමට නැමෙන විටම ඔහුට පහරදුන් පුද්ගලයා යළි ඔහු ඔසවා චන්මිල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ යකඩ ගේට්ටුවේ ගසා ඇත. යකඩ ගේට්ටුවේ වැදුණු පුද්ගලයා එතැන ඇති කොන්ක්‍රීට් බිම උඩුකුරුව වැටී ඇත.

ඇසින් දුටුවන් කියන හැටියට ඒ වනවිට ආයතනය ඇතුළේ සිට පැමිණි තවත් 4-5 දෙනකු බිම වැටුණු පුද්ගලයාගේ මූණට අතින් පයින් පහර දී ඇත. තවත් තිදෙනකු පැමිණ අනෙක් පුද්ගලයාටද පොලුවලින් පහරදී පාරෙන් අනෙක් පැත්තට විසි කර තිබේ. එතැන තිබූ ලයිට් කණුවේ වැදී ඇද වැටුණු ඔහු නැඟිට මිරිහාන පොලිසිය දෙසට දුවගොස් ඇත.
ගුටි කා බිම වැටුණු සුනිල්ට හත් අට දෙනකු එකතුව විනාඩි විස්සකට වඩා පහරදුන් බවද සිද්ධිය ඇසින් දුටුවන් කියති. පසුව ළඟ තිබූ කොස්සක් ගෙන එයද කැඩී යනතුරු වැටී සිටි අයට පහරදුන් බවද කියැවේ.
අන්තිමට බිම වැටී සිටි කෙනාට පහර දුන් පුද්ගලයා පහරකෑ අයගෙන් ඊට කිසි ප්‍රතිචාරයක් නැති කොට

‘අඩෝ මූ මැරිලදයි‘ අසා ඇත. එක් අයකු වැටී සිටි කෙනා කෙළින් කොට පරීක්ෂා කොටද ඇත. පසුව
පහරදුන් අයම පහර කෑ පුද්ගලයා රෝහලට රැගෙන ගොස් ඇත.
මේ මැර ප්‍රහාරයේ කිහිපදෙනකු පැමිණ සිටියේ CHR වර්ගයේ මෝටර් රථයකින් බවද කියැවෙයි. සිද්ධියට
අදාළ පිරිස් අත්අඩංගුවට පත්වූ පසුත් එම වාහනය එතැන තිබී ඇත. රාත්‍රි කාලයේ මෝටර් රථයකින් සහ
යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් අදාළ වාහනය එම ස්ථානයෙන් ඉවත් කරගත් බවද සිද්ධිය දුටු අය කියති.

සුනිල් ජයවර්ධන කැස්බෑව තානායම පාරේ අංක 251/ඒ/3 නිවෙසේ පදිංචිව සිටියේය. අවුරුදු 53ක්
වයස සුනිල් දරුවන් තිදෙනකුගේ පියෙකි.

සාමාන්‍යයෙන් උදේ නිවෙසින් පිටවන සුනිල් රාත්‍රි 8-10 අතර අනිවාර්යයෙන්ම නිවෙසට පැමිණෙයි. සිය පියා නිවෙසට පැමිණෙනතුරු බලා සිටින්නේ බාල පුතාය. ඒ නිදාගැනීමට පෙර පැයක් හෝ සුනිල්ගේ පපුවට තුරුලු වී සිටීමටය. ලබන වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සුනිල්ගේ බාල පුතු පියාගේ අභාවය දරාගත නොහැකි ලෙස කම්පනයට පත්ව සිටියි.
සුනිල්ට දියණියෝ දෙදෙනෙකි. වැඩිමහල් දියණිය පෞද්ගලික ආයතනයක සේවය කරයි. දෙවැනි
දුව මොරටු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි.

තොරතුරු - ප්‍රගීත් සම්පත් කරුණාතිලක
ඡායාරූප - අකිල ජයවර්ධන