කොරෝනා සමයේ සංචාරකයින්ට කරුණාවෙන් සැලකූ රටක් හැටියට ශ්‍රී ලංකාව ගැන මේ දිනවල ප්‍රශංසාත්මක ප්‍රචාරණයන් සිදුවේ.
මෙම වසංගතයේ බලපෑම් එල්ල නොවුණි නම් මෙම කාලය වන විට මිරිස්ස වෙරළ තීරය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනු දැකගත හැකිය. දැන් මිරිස්ස අයත් වන මාතර දිස්ත්‍රික්කයේ නවාතැන් ගැනීමට තිබෙන හෝටල් සියල්ලම පාහේ පාළුවට ගොස්ය. ඒවායේ කාර්යමණ්ඩලවලට නිවාඩු ලබා දී
නිවෙස්වලට පිටත් කර යවා තිබේ. 
ඉඳහිට සංචාරකයෝ කිහිපදෙනෙක් මෝටර් බයිසිකල්වල හෝ පයින් ඇවිදගෙන වෙළඳසැල් වෙත ගමන් කරන ආකාරය දැකගත හැකිය. ඔවුන්ව දැකීමම සංචාරක කර්මාන්තය හරහා දිවි ගැටගසාගන්නා දහස් ගණනක් තුළ බලාපොරොත්තුවේ සේයාවක් ජනිත කරවයි.

කොරෝනා වෛරසයේ පැතිර යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ සිටි බොහෝ සංචාරකයන් ලක් බිමෙන් පිට විය. ඒ අතර ශ්‍රී ලංකාවේ දිගටම රැඳී සිටිමින් වෛරසයෙන් ආරක්ෂා වීමට ලැබී තිබෙන උපදෙස් පිළිබදින අතරේ නිවාඩුව භුක්ති විඳින සංචාරකයෝද වෙති.
ස්විස්ටර්ලන්තයේ සිට පැමිණ මිරිස්ස ප්‍රදේශයේ කුඩා හෝටලයක නවාතැන් ගැන සිටින ඇන්ඩ්‍රියාස් සහ ස්ටයිව් සබ්‍රිනා එවැනි යුවළකි. ඔවුන් දැන් ගත කරන්නේ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින 6වෙනි සතියය. “ඇඳිරි නීතිය ලිහිල් කළ විට අපි එළියට ගොස් අපට අවශ්‍ය දේවල් මිල දී ගන්නෙමු” කියා සබ්‍රිනා පවසයි. අවශ්‍ය තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා ඔවුහූ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සමඟ සබඳතා පවත්වගෙන යති. කොළඹ සමඟ සසඳන විට කොරෝනා ව්‍යාප්තියේ පාලනයක් දක්නට ලැබෙන දකුණු පළාතේ කල් ගෙවන්න ලැබීම ඔවුන් සලකන්නේ ඉමහත් භාග්‍යයක් ලෙසය. ස්විට්සර්ලන්‍තයේ සිටින ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟද ඔවුහූ දුරකථනය ඔස්සේ නිතරම සම්බන්ධ වන බව අපට දැනගන්න ලැබුණි.

රුසියාවේ සිට පැමිණි සංචාරකයන් දෙදෙනෙකුවද අපට මුණගැසුණි. ඔවුහූ පසුගිය වර්ෂයේ නොවැම්බර් සිට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින අතර තම මව් රටට වඩා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්වය පාලනය වී ඇති නිසා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට ලද අවස්ථාව ඔවුන් සලකන්නේ සතුටට කරුණක් ලෙසය.

“වෙනත් රටක නවාතැන් ගෙන සිටිනවාට වඩා ශ්‍රී ලංකාවේ නවාතැන් ගෙන සිටීම ආරක්ෂිතය. එයට හේතුව වන්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය වැනි රටවල කොරෝනා වෛරස් ව්‍යාප්තිය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගැනීමය. ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගෙන තිබේ” කියා ඔහු අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාව තුළ පවතින වසංගත තත්වය ජූලි මස අග වන විට අවසන් වේවියැයි මම සිතමි. නමුත් වෙනත් රටවල වසංගත තත්වය අවසන් වීමට මෙම වර්ෂය අවසානය දක්වා වුවද කල් ගත විය හැකිය” කියා ඔහු තවදුරටත් අදහස් දැක්වීය.

29 හැවිරිදි වික්ටර් ලූමේ පසුගිය වර්ෂ කිහිපය පුරාම ශ්‍රී ලංකාව තුළ නවාතැන් ගෙන තිබේ. ඔහු වැලිගම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට රළ පැදීම ඉගැන්වීමේ යෙදුණි. ඔහුද රුසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු වන අතර තව මාස දෙකක් හෝ තුනක් වන විට ශ්‍රී ලංකාවේ තත්වය යථා තත්වයට පත් වේ යැයි බලාපො‍රොත්තු වේ. මාර්තු මාසයේ සිට රළ පැදීම පුහුණු වීම සඳහා සංචාරකයන් නොපැමිණීම පිළිබඳව ඔහු කනගාටුව පළ කර සිටියි. ලෝක නායකයන් මෙම වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍යය සාමාන්‍ය ජනයාගෙන් සඟවන බව ඔහුගේ මතයය. “මගේ මව් රටේ වාතාවරණය අස්ථීරයි. සිද්ධ වෙන්නේ මොනවාද කියා කිසිවෙක් නොදනියි. මිනිසුන් බියෙන් පසු වේ. පෙනෙන විදිහට අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට ඇත්ත හෙළි කරන්නේ නැහැ” කියා ඔහු පැවසීය.

ලූමේ වැනි තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් වෙනුවෙන් එම ප්‍රදේශයේ හෝටල් කිහිපයක් ක්‍රියාත්මක වේ. නමුත් කොරෝනා වසංගතය ආරම්භයෙන් පසුව ශ්‍රී ලාංකිකයන් සහ සංචාරකයන් අතර සබඳතා පැවැත්වීමට අපහසු තත්වයක් උදා වී ඇති බව ඔහු පැවසීය.

“සුදු මිනිසුන් වසංගතය පතුරන බව මෙහේ මිනිසුන් හිතනවා. ඒක මට තේරෙනවා. මට යම් අනාරක්ෂිත හැඟීමක් ඇති වෙනවා” කියා ඔහු සඳහන් කළේය.
නමුත් ඊශ්‍රායෙලයේ සිට පැමිණ සිටින සංචාරකයෙක් වන 43 හැවිරිදි අයාලා නගවුකර් පැවසුවේ එම ‍ප්‍රදේශයේ වැසියන් සංචාරකයන්ට උපකාර කරන බවය. ඇය තවමත් වෙරළට ගොස් එහි අසිරිය භුක්ති විඳීමට අමතක නොකරයි.
“මම මෙහෙට ආවේ නොවැම්බර් මාසයේ සීසන් කාලේදී. මේ ප්‍රදේශය සංචාරකයන්ගෙන් පිරී තිබුණි. නමුත් සෑම දේම හිටි හැටියේම වෙනස් විය. සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතන සියල්ලම පාහේ වසා දැමුණු අතර සීසන් එක කලින්ම අවසන් විය. නමුත් මම තවමත් සතුටින් සිටිමි. පරිසරය ඉතා නිසලය. වෙරළ තීරයට ගොස් විවේකය භුක්ති විඳීමට මට තවමත් අවස්ථාව තිබේ” කියා ඇය සඳහන් කළාය.
ඇයට තම මව් රටේ දේවල් මඟ හැරීමේ පාඩුව දැනෙන අතර නැවත නිවසට යෑමට හැකි වන දිනය උදා වන තෙක් ඇය බලා සිටී.

25 හැවිරිදි නිකෝ පොක්නිෆෝ ජර්මනියේ සිට පැමිණි පුද්ගලයෙකු වන අතර දැනට මාස පහක කාලයක් ඔහු ගත කරන්නේ ශ්‍රී ලංකාවේය. ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා තත්වය ජර්මනියේ පවතින කොරෝනා තත්වයට වඩා යහපත් බව ඔහු විශ්වාස කරයි.

“මට කාලසටහනක් තියෙනවා. මං පොත් කියවනවා, ගොඩක් ව්‍යායාම් කරනවා. ඒත් මට කම්මැලිකමක් දැනෙනවා. හැම දවසකම කරන්නේ එකම දේවල්” කියා ඔහු පැවසීය.

වැලිගම දිස්ත්‍රික් උපලේකම් ඩබ්. වී. පී. අනුර මහතා පැවසුවේ එම ප්‍රදේශයේ දැනට රැඳී සිටින සංචාරකයන්ගේ ගණන නිශ්චිතව නොදන්නා මුත් 300ක පමණ පිරිසක් රැඳී සිටින බව ඔහු විශ්වාස කරන බවය. වීසා බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කර තිබෙන හෙයින් සහ ඔවුන්ගෙන් වැඩි පිරිසකට මාස හයක සිට අවුරුද්දක් දක්වා දිගු කාල සීමාවකට වලංගු වීසා බලපත්‍ර තිබෙන හෙයින් ඔවුන් රැඳී සිටීම නීත්‍යානුකූල ගැටලුවක් නොවන බව ඔහු ප්‍රකාශ කරයි.
මුලදී මෙම ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් 150ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කළද එම ප්‍රදේශයේ කිසිම සංචාරකයෙක් ස්වයං නිරෝධායනයට ලක් කර නොමැති බව සෞඛ්‍ය බලධාරීහූ ප්‍රකාශ කරති.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂිකා ධම්මික විජේසිංහ පැවසුවේ පසුගිය බ්‍රහස්පතින්දා වන විට සංචාරක වීසා බලපත්‍ර මගින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන පුද්ගලයන් 11,000ක් පමණ සිටින බවය. නමුත් ඔවුන් සියලුදෙනා මෙහි පැමිණ තිබෙන්නේ සංචාරක අරමුණු සඳහාද යන්න ඇය ස්ථිරවම නොදනියි.
ඔවුන්ගෙන් වැඩිදෙනෙක්, එනම් පුද්ගලයන් 2500ක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්ය. අනෙක් පුද්ගලයන්ට චීනයේ සිට පැමිණි 1700ක්, බ්‍රිතාන්‍යයේ සිට පැමිණි 850ක්, කැනඩාවෙන් පැමිණි 730ක්, රුසියාවෙන් පැමිණි 610ක් සහ ඇමරිකාවෙන් ආ 410ක් අයත් වෙති. එමෙන්ම ඕලන්ද ජාතික 370 දෙනෙකුත් ඕස්ට්‍රේලියානු ජාතික 40දෙනෙකුත් සිටිති.

“සංචාරකයන්ට 1992 අමතා තොරතුරු ලබාගැනීම සඳහා අප වෙනම අංශයක් පිහිටුවා තිබේ. සමහර සංචාරකයන්ට තිබෙන ආර්ථිකමය දුෂ්කරතා පිළිබඳව දැනගන්න ලැබුණු විට අප එම පුද්ගලයන්ව අඩු මුදලක් ලබාගන්නා හෝටල්වලට යවා තිබේ” කියා ඇය පැවසුවාය. සංචාරකයන්ගේ ශුභසිද්ධිය වෙනු‍වෙන් ශ්‍රී ලංකාවේ සංචාරක දෙපාර්තුමේන්තුව විදේශ රජයන් සමඟ කටයුතු සිදු කරන බව ඇය තවදුරටත් කියා සිටියාය.
සංචාරක අංශය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන මෙන් ඉල්ලා ඔවුන් අගමැතිට ලිපි යොමු කර තිබෙන බව ඇය සඳහන් කළාය. එසේ සිදු කළොත් සංචාරක අංශය ඉක්මනින්ම යළි නඟා සිටුවිය හැකි අතර අගුළු දැමීම අතරතුර පවා ඔවුන්ට නිවසේ සිට වැඩ කරන ස්ථානයට ගමන් කළ හැකිය.
“ඉදිරියේදී සිවිල් ගුවන් අධිකාරිය සහ ආගමන විගමන දෙපාර්තුමේන්තව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ශක්තිමත් අධීක්ෂණය කිරීමේ වැඩසටහනක් ඇති කළ යුතුය. අපි මේ සඳහා මෘදුකාංගය වැඩසටහනක් (app) නිපදවීමට බලාපොරොත්තු වෙමු. එහි විදේශිකයන් විසින් තම රට ඇතුළත් කර එය ස්ථාපනය කරගත යුතු අතර එහි ලියාපදිංචි විය යුතුය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු තබාගැනීමට සහ ඔවුන්ට අවශ්‍යතාවයක් ඇති වූ විට උපකාර කිරීමට මෙය උපකාරවත් වෙයි” කියා ඇය තවදුරටත් අදහස් දැක්වීය.

(Sunday Times පුවත්පතට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සැපයූ තොරතුරු ඇසුරිනි)
එස්. දහනායක
[May14, 2020 - Gossiplankanews.com]