කොරෝනා රෝගියෙකු බවට සැක යයි මුලින් ආරංචි පැතිරී පසුව එසේ නොවන බවට තහවුරු වී පසුගියදා හෘදයාබාධයකින් මියගිය පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ 87 හැවිරිදි විශ්‍රාමික පරිපාලන නිලධාරියෙකුවූ පියසේන ගම්ලත් මහතා සම්බන්ධයෙන් ඇතිවූ සංසිද්ධිය
එම පවුලේ අයට මහත් අපහසුතා ඇති කර තිබේ.
ඒ ගැන පළවූ සාවද්‍ය මාධ්‍ය වාර්තා නිසා නිසි වේලාවට දේහයට අවසන් කටයුතු සිදු කරන්නට අවස්ථාව පවා අහිමිවී ගිය බව ඒ ගැන අදහස් දක්වන මියගිය අයගේ වැඩිමල් පුතු මාධ්‍යවේදී තිරංජය ගම්ලත් දන්වා සිටී.
ඔහු ඒ පිළිබඳ දක්වා තිබෙන අදහස් මෙසේය.


'තාත්තාට වයස 87 ක් එයාට වසර 12 ක් විතර තිස්සේ දියවැඩියාව තිබුණා. 26 වන ඉරිදා රාත්‍රී 10 න් පසු තාත්තාට හදිසියේ අමාරු තත්වයක් පෙන්වුවා. ෂුගර් මීටරේ චෙක්ක ළාම සීනි වැඩිවීමක් පෙන්නුම් කළා. ඒ නිසා මොබයිල් සර්විස් එකකට කිව්වම එයාලත් ඇවිත් බලලා ඒ ගැන තහවුරු කරලා ජයවර්ධනපුර රෝහලට එක්ක ගියා. එහේදී වෛද්‍යවරු පරීක්ෂා කරලා බලලා අපේ කැමැත්ත ඇතිව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. පහුවදා උදේ 11 ට විතර තාත්තා එහිදී මියගියා. නමුත් මේ දිනවල පවතින තත්වය අනුව මෘත ශරීර රෝහලෙන් එකවර ඥාතීන්ට භාරදෙන්න බෑ කිව්වා.මේ දවස්වල රෝගීන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු වන නිසා එය කරන තුරු සිටිය යුතුයි කිව්වා. ඔහොම වෙලා තියෙද්දි තාත්ගෙ පීසීආර් පරීක්ෂණයේ මොකක් හරි ගැටලුවක් නිසා වාර්තාව අපට ලබාදෙන්න ප්‍රමාදයක් සිදු වුණා.

නැවත පරීක්ෂණය සිදුවුයේ අයිඩීඑච් එකෙදියි කළුබෝවිලදියි.  28 රාත්‍රියේදී ආපු ඒ වාර්තාවෙන් කොවිඩ් නොවන බවට පෙන්නුම් කළා. මරණ සහතිකයේ සඳහන් වුනේ හෘදයාබාධයක් බවටයි.ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂතුමා ගාව වාර්තාව තියනවා.

මේ අතරේ තාත්තාට කොවිඩ් ආසාදනය වුණාදැයි සැකයක් මත අපේ මහගෙදරත් අවට ගෙවල් 3 කුත් මාත් මල්ලිත් මගේ යාළුවෙකුගෙ ගේකුත් නිරෝධායනයට ලක්කළා. ඔය අතරවාරෙ තමයි මම දැක්කෙ දෙරණ අරුණ චතුර කරන වැඩසටහනේදී ඔවුන්ගේ පුවත්පතවන අරුණ පත්තරේ ප්‍රවෘත්තියක් පළවෙලා කියලා කියෙව්වා මියගිය රෝගියා කොවිඩ් රෝගියෙකු මියගිය ආකාරයට ආදාහනය රාත්‍රියෙදි සිදු කරා කියලා.

ඒ වෙනකොටත් තාත්තගෙ සිරුර ආදාහනය කරලා නෑ. මං පත්තරේ අරන් බැලුවා අදාහනය ගැන පුවතයි තාත්තගෙ වයසයි හැදුණ ලෙඩෙයි එහි තිබුණ සියලු කරුණු වැරදියි.

මේ වගේ ආරංචියක් පැතිරුණාම ගමේ මිනිස්සුන්ගෙනුත් මට විශාල පීඩාවක් එන්න ගත්තා. කොවිඩ් ආසාදිතයෙක් මැරිල තියෙන්නෙ වගේ. ඊට පසුව මං පත්තරේට කථා කරලා කිව්වාම ඔවුන් පසුවදා නිවැරදි කරා. ඒක චතුරත් කියෙව්වා.

තාත්ගෙ ආදාහනය සිදුවුනේ 30 වනදා නියඳගල ආදාහනාගාරයේ. මෘතදේහය අපට බාරදෙන්න එපා කියලා සමාජ මාධ්‍ය වලටයි ඇමතිතුමියටයි ලිපියක් ලියලා තිබුනේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ACMOA කියල එකක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා. ඒ ලිපියේ සාවද්‍ය කරුණු සඳහන් වෙලා තිබුණ නිසා තමයි මේ ගැන ආන්දෝලනයක් ඇතිවුනේ. තාත්තා මියයන්න පෙර පීසීආර් පරීක්ෂණෙන් කොවිඩ් වලට ධනාත්මක වුණැයි කියල වැරදියට එහි සඳහන් වුණා. ඇත්තටම එහෙම වෙලා තිබුනෙ නෑ. ඒක තාම ඔවුන් නිවැරදි කරලාත් නෑ.

දෙරණ ප්‍රවෘත්තිය පළවීම නිසා එය නිවැරදි වනතුරු අපට තාත්තගෙ දේහය ආදාහනයට යොමු කරන්න හිතක් දුන්නෙ නෑ. අපව නිරෝධායනයට ලක්කිරීමත් ඒකට හේතුවක්. 29 වනදා වෙනුවට 30 වනදා සිදුවුනේ ඒකයි.
මං තාත්ගෙ බොඩි එක ගන්න යනවිට ඔය වෛද්‍ය සංගමය ලියුමක් ගහලා තිබුණ නිසා රෝහල් අධ්‍යක්ෂකතුමාට සිදුවුණා නැවත අධිකරණ වෛද්‍ය නිලධාරීන් කැඳවලා ඒ ගැන තහවුරු කිරීමේ සටහනක් යොදලා දේහය භාරදෙන්න. වැරදි තොරතුරු දැක්වුණ ඒ ලිපිය නිසා යම් කැළඹීමක් ඇතිවන්නත් ඉඩ තිබ්බා. ගම්වාසීන් කලබල වෙන්න ඉඩ තිබ්බා.මොකද මේ දවස්වල පැතිරයන වැරදි අදහස් නිසා.නමුත් එහෙම වුණේ නෑ '