දැන් ශ්‍රී ලංකාවේ වැඩිපුරම වාර්තාවන්නේ කුවේටයේ සිට ලංකාවට පැමිණි අයට කොරෝනා වැළඳී තීබීමේ ප්‍රවණතාවයකි. කොරෝනා බෝම්බයක් කුවේටයේ සිට ලංකාවට එවා ඇතැයිද  ඇතැම් දේශපාලකයින් පවසා ඇත. මෙලෙස කුවේටයේ සිට පැමිණියේ කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි පිරිසකි පසුගිය මැයි 19 වනදින ගුවන් යානා 2 කින්  ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 460 දෙනකු පැමිණි අතර
කුවේට් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අහමඩ් නසර් සමග විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
පැවැත්වූ දුරකථන සංවාදයකින් පසුව ඔවුන්ට තාවකාලික බලපත්‍ර ලබාදී කුවේටයේ සිට 'කුවේට් එයාවේස්' සමාගමට අයත් ගුවන් යානා දෙකකින් මෙරටට ගෙන්වා තිබුණි.
කුවේටයේ 19000 කට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නීතිවිරෝධී ලෙස රැඳී සිටින බවත් ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ අනුව ඉදිරියටත් කුවේටයේ සිටින පිරිස් මෙරටට ගෙන්වනු ඇතැයිද ඒ දිනවල දන්වා තිබුණි.

ලංකාවේ වසංගත තත්වය නිමාවට පත්වෙමින් පවතින සේයාවක් මතුවූ අවස්ථාවෙක කුවේටයේ සිට පිරිසක් ගෙන්වාගත් පසු ඔවුන් වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වීම පසුපස කිසියම් ක්‍රමන්ත්‍රණකාරී තත්වයක් පැවතිය හැකි බවට මේ වනවිට අදහස් මතුව තිබේ.

මෙම ආරංචි ගැන සොයා බලද්දී කුවේටයේ කොරෝනා ආසාදනය පිළිබඳ තත්වය අප සොයා දැනගැනීමද වැදගත්වේ.
ඊයේ (25) වනවිට මැදපෙරදිග රටක් වන කුවේටයේ ආසාදිතයින් 22575 ක් වාර්තාවී තිබුණි.සුවවූ 7206 කි. මරණ 172 කි.
දැඩි සත්කාර ඒකකයේ 196 කි. කුවේට් ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට ආසාදිතයින් වැඩි පිරිස ස්ථාවර මට්ටමේ සිටින අතර ඔවුන්ට සුවය ලැබීමේ ප්‍රවණතාව පවතී.
කුවේටයේ පාසල් මාර්තු 1 වනදා සිට වසා දමා ඇති අතර එම වසා දැමීම අගොස්තුව දක්වා දීර්ඝ කර ඇත.
මේ වනවිට කුවේටයට පිටරටවලින් කිසිවෙකුට ඇතුළුවීමට නොහැකිය. අතිශය දැඩි නීති යටතේ තහනම් කර ඇත. තානාපති නිලධාරීන්ට හැර කිසිවෙකුට රටට ඇතුළුවීමට නොහැකිය. එරට අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විදෙස්ගතව සිට එරට සිරවූවන්ට කුවේටය අප්‍රේල් 01 සිට 30 දක්වා නැවත තමන් පැමිණි රටවලට යාමට අවස්ථාවක් ලබාදුන් අතර එය අප්‍රේල් 30 පසු නවතා ඇත. මෙම කාලය තුළ තමන්ගේ රටවල් වලට යාමෙදී වියදම්ද කුවේට් රාජ්‍යය දරන බවත් පොදු සමා කාලය තුළ දඩ කිසිවක් නැති බවත් දන්වා තිබුණි. මේ යටතේ ඉන්දියාවේ ශ්‍රමිකයින් විශාල පිරිසක්ද පිටත් කර යවා තිබුණි.

ශ්‍රී ලංකාවට පිරිස් පැමිණයේ මැයි 19 දිනදීය. පසුගිය අප්‍රේල් මාසයේ ලංකාවට එම පිරිස් ගෙන්වීමට මෙරට නීති අනුව ඉඩක් නොලද නිසා විය හැකිය.
ලංකාවට කුවේටයෙන් පිරිස් පැමිණෙන අවස්ථාව වනවිට එරට කොරෝනා උච්ච තත්වයකට පත්වූ අවස්ථාවකි. මුලදී ඇඳිරි නීතිය නොතිබුණත් මැයි 10 සිට එම රාජ්‍යය පුරා ඇඳිරි නීතිය පනවා තිබුණි. ඒ දක්වා තිබුණ නීතිය වූයේ ස්වේච්ඡාවෙන් නිවෙස් වල සිටීමට දුන් අවසරයයි. රැකියාවල අවශ්‍යතාව පරිදි එය කළ හැකි විය.
මාර්තු 22 අර්ධ ඇඳිරි නීතියත් පසුව මැයි 10 රට පුරාම ඇඳිරි නීතියත් පැනවූයේ මැයි මාසයේ මුල සිට විශාල වශයෙන් රෝගීන් වාර්තාවීමත් මරණ ඉහළයාමත් නිසාය. ලංකාවට කුවේටයෙන් පිරිස් පිටත්කර එවා ඇත්තේ එරට කොරෝනා උච්චතම වේලාවකය.
-(සූසර් ජයනන්ද)
[May26, 2020 - Gossiplankanews.com]