ඇඳිරි නීති කාල සීමාවේදී කොළඹ සහ මහනුවර වායු දූෂණය පහළ ගිය හැටි

Ad Code

ඇඳිරි නීති කාල සීමාවේදී කොළඹ සහ මහනුවර වායු දූෂණය පහළ ගිය හැටි

කොරෝනා වෛරසය හේතුවෙන් ‍ලොව පුරා මිනිස් ක්‍රියාකාරකම් අඩු වී තිබෙන බව අප කවුරුත් දන්නා කරුණක්ය. මාර්ගවල දැන් ගමන් ගන්නේ පෙරට වඩා අඩු මෝටර් රථ ප්‍රමාණයක්ය. බොහෝ කර්මාන්තශාලාද අගුළු ලා තිබේ. මේ හේතුවෙන් වායු දූෂණයේ සැලකිය යුතු පහත වැටීමක් සිදු විය. උදාහරණයක් ලෙස අවුරුදු ගණනාවකට පසු බීජිං ප්‍රදේශයේ නිල් අහස්තලයක් දිස් වන බව
වාර්තා විය. උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල පදිංචිකරුවන්ට පළමු වරට ඈතින් පිහිටි හිමාලය කඳුකරය තම නිවසේ සිටම දෑසින් දැකගත හැකි විය. කොළඹ ජීවත් වන ජනයාට සමනළ කඳුවැටිය සහ මධ්‍යම කඳුකරය දැකගත හැකි වූ බවටද වාර්තා වේ. ඇඳිරි නීති කාල සීමාව තුළ වායු දූෂණ මට්ටමේ කොතරම්

අඩු වීමක් සිද්ධ වෙලාද? “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට වෛද්‍ය රොහාන් ජයරත්න, වෛද්‍ය ගයාන් බෝවත්ත සහ මහේෂ් සේනාරත්න පළ කළ අදහස් අපි දැන් සලකා බලමු.

වායු දූෂණය සිදු වන්නේ විවිධ ගෑස් වර්ග සහ කුඩා අංශු හේතුවෙන්ය. වායුගෝලය තුළ තිබෙන අංශුමය දූෂණය සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ 2.5PM ඇසුරින්ය. කොළඹ නගරයේ 2.5PM මට්ටම වන්නේ ඝන මීටරයට මයික්‍රෝග්‍රෑම් 60ක්ය. සාමාන්‍යයෙන් නගරබද පරිසරයක් තුළ ඇති අංශුවලින් සියයට 80ක්ම මුදාහැරෙන්නේ වාහන මගින් පිට වන දුම නිසාය.

එමෙන්ම මෙම අංශුවලින් සියයට 99කට වැඩි ප්‍රමාණයක් මයික්‍රෝමීටර 2.5කට වඩා කුඩාය. ආශ්වාස කිරීමේදී මෙම කුඩා අංශුවලට මිනිසාගේ ශ්වසන මාර්ගය හරහා ගමන් කිරීමේ හැකියාව පවතින අතර ඒවා පෙනහළු තුළ තිබෙන ගර්තවලට ඇතුළු වෙයි. කුඩා අංශු මගින් සිදු වන මෙම හානිය මරණ අනුපාතය ඉහළ යෑමට සහ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග හා හදවත් රෝග වැළඳීමේ අවදානම ඉහළ දැමීමට හේතු වන බව ලොව පුරා සිදු කර ඇති අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
‍කාබන් මොනොක්සයිඩ (CO) යනු මෝටර් රථ මගින් බැහැර වන තවත් වායු දූෂකයක්ය. කොළඹ නගරයේ දක්නට ලැබෙන CO පරිමාව සමාන්‍යයෙන් 1.0 ppm අගය ගනී. කාබන් මොනොක්සයිඩ ඉහළ මට්ටමකට නිරාවරණය වීමෙන් හිසරදය, කලන්තය, වමන ගතිය සහ වමනය සහ පෙනීම අපැහැදිලි වීම, කරකැවිල්ල ඇති විය හැකිය.

KOALA යනු ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන්වල පිහිටා තිබෙන ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ වායු ප්‍රමිතිය සහ සෞඛ්‍ය පිළිබඳ රසායනාගාරය මගින් නිපදවා ති‍බෙන අවට පරිසරය තුළ ඇති වායු ප්‍රමිතිය මැනීමේ උපකරණයක්ය. එය සූර්ය තාප ශක්තියෙන් ක්‍රියාත්මක වන අතර 2.5PM ධාරිතාවය සහ කාබන් මොනොක්සයිඩ් මට්ටම මැන බලමින් ඒ පිළිබඳ දත්ත ජංගම ජාලයක් හරහා අන්තර්ජාලයේ ඇති දත්ත ගබඩාවකට යවනු ලබයි. මෙම උපකරණ දෙකක් පෙබරවාරි මාසයේ මුලදී කොළඹ හැව්ලොක් පාරේ පොලිස් පාක් අසල සහ කොල්ලුපිටියේ ග්‍රීන් පාත්හි ස්ථාපනය කරන ලදි. මහනුවර IFSහි සහ ත්‍රිත්ව විද්‍යාලයේද මෙම උපකරණ කිහිපයක් ක්‍රියාත්මක වේ.

පහත දැක්වෙන රූපසටහන්වල පෙන්නුම් කරන්නේ පෙබරවාරි 9 සිට අප්‍රියෙල් 15 දක්වා කොළඹ නගරයේ පැයකට PM 2.5 සහ CO සාමාන්‍යයයි. මාර්තු 20වන දින ඇඳිරි නීතිය පැනවීම සිරස් රේඛාවෙන් පෙන්නුම් කරයි. තිරස් රේඛා දෙකෙන් පෙන්නුම් කරන්නේ මෙම දිනට පෙර සහ පසු සාමාන්‍ය වායු දූෂණ මට්ටමයි.

මෙවැනිම තත්ත්වයක් මහනුවර වායු දූෂණ මාපකවලද දැකගත හැකි විය.

පහත වගුවේ දැක්වෙන්නේ ඇඳිරි නීතිය පැනවීමට ආසන්න වශයෙන් මාසයකට පෙර සහ ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව මාසයක් ඇතුළත ලැබුණු ප්‍රතිඵලවල සාරාංශයක්ය. ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව PM2.5 සහ CO මට්ටම්වල පැය 24ක සාමාන්‍ය අගය පිළිවෙලින් 49% සහ 34% බැගින් අඩු වී තිබෙන බව දක්නට ලැබේ. දිවා කාලයේදී පමණක් එම අගයන්වල සලකා බැලුවොත් ඒවා පිළිවෙලින් 37% සහ 52% වේ. මෙසේ සුළු වැඩි වීමක් සිදු වන්නේ දිවා කාලය තුළ රාත්‍රී කාලයට වඩා වාහන තදබදයක් දක්නට ලැබෙන නිසාය. ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව 2.5PM මට්ටමට වඩා CO මට්ටමේ විශාල අඩු වීමක් දක්නට ලැබෙන්නේ නාගරික ප්‍රදේශවල වායුගෝලයේ අඩංගු CO වැඩි ප්‍රමාණයකට වග කිව යුත්තේ වාහන බැවින්ය.

මහනුවර ප්‍රදේශයේ පැය 24ක සාමාන්‍ය PM2.5 අනුපාතය සහ CO අගය පිළිවෙලින් 25%කින් සහ 36%කින් පහත වැටුණි. එය කොළඹ නගරයේ සිදු වූ තරම් විශාල පහත වැටීමක් නොවීමට හේතු විය හැක්කේ සාමාන්‍යයෙන් කොළඹ නගරයේ වායු දූෂණය මහනුවර ප්‍රදේශයේ වායු දූෂණයට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විය හැකිය.
මෙම දත්ත සලකා බැලීමේදී අපට පැහැදිලි වන්නේ වායු දූෂණය කෙරෙහි මිනිස් ක්‍රියාකාරකම් කොතරම් බලපෑමක් සිදු කර තිබෙනවාද යන්නය.
(Sunday Times ඇසුරිනි)
එස්. දහනායක
[May26, 2020 - Gossiplankanews.com]






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu