කොරෝනා සමයේ අතුරුදන්වී සිටි පියෙකු ගැන පොලිස් පැමිණිල්ලක් සිදු කර පසුව හමුවූ මළ සිරුර මියගිය පියාගේ යයි සලකා භූමිදානය කළ පසුව එම තැනැත්තා නැවත නිවසට පැමිණි පුවතක් පසුගිය සතියේ වාර්තා විය. මෙවැනි සිදුවීම් මීට ඉහතද වාර්තාවී ඇති නමුත් මේ කතාවේ සැඟවුණ කාරණාවක් ගැන දැන් කරුණු අනාවරණය වී තිබේ. ඒ යටින් දිවෙන
දරුවන් දෙමාපියන්ට සැලකීම සම්බන්ධ ගැටලුවක්ද දැන් අනාවරණය වී තිබේ.
මේ ඒ ගැන කතාවයි.
හයිලෙවල් මාර්ගයේ මීගොඩ දික්හැතැක්ම පාසල ඉදිරිපිටදී පසුගිය අප්‍රේල් 15 වැනිදා පදිකයකු අනතුරට ලක්විය. එම ස්ථානයේදීම අනතුරට ලක්වූ පුද්ගලයා මියගොස් සිටියේ හඳුනා ගැනීමට නොහැකි වන අයුරිනි. ඔහුගේ මුහුණ විනාශ වී ගොස් තිබිණි.

එම පුද්ගලයා කොහේ සිට පැමිණියේදැයි, කාගේ කවුදැයි පැවැසීමට කිසිවකු එම අවස්ථාවේ සිටියේ නොමැත. ඒ අනුව කිසිවක් තේරුම් ගත නොහැකිව පොලිස් නිලධාරීන් අනතුර පිළිබඳව පරීක්ෂණ කටයුතු කරමින් සිටින විටදී අයකු පැමිණ ප්‍රකාශ කළේ මේ අපේ ‘කළුතර මාමා’ යන වදනයි. ඒ අනුව සැණෙකින් කළුතර මාමාගේ නිවසට පණිවුඩය ගියේය. ඉන් අනතුරුව නිවසේ දරුවන් හෝමාගම රෝහල වෙත ගියේ සිය පියාගේ වියෝව දරාගත නොහැකිව ඉතාමත් ශෝකයකින් යුක්තවයි.

මියගිය පුද්ගලයාගේ දේහ ලක්ෂණ දුටු පුතා එය සිය පියාගේ සිරුර බව හඳුනා ගත්තේය. මල් ශාලාව වෙත සිරුර භාරදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මුණ ගැසීමට ගියේ අවමංගල්‍ය කටයුත් සිදුකිරීමට අවසර ලබාගැනීමටය. එයට හේතුව එම දිනවල මුළු රටටම බලපාන පරිදි කොරෝනා වසංගතය පාලනය කිරීමට ඇඳිරි නීතිය පනවා තිබූ හෙයිනි. රුපියල් ලක්ෂයකට අධික මුදලක් අවමංගල්‍යයට වැය කරමින් මීගොඩ සොහොන්ගම සුසාන භූමියේ අවසන් කටයුතු සිදුකරනු ලැබීය.

හත් දවසේ බණ සහ සංඝරත්නය හමුවේ දානය පිරිනමා නැවත ඉපදෙන මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කළේ ඉතාමත් ශෝකයෙනි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේ කාටවත් නොදැනුවත්වමය. පෙරේදා (20) සවස නිවැසියෝ නිදහසේ කාලය ගත කරමින් සිටියහ. එක්වරම නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපස සිටගෙන සිටි පුද්ගලයා දුටු විට නිවැසියන්ගේ තොල කට වේළී ගොස් වචන පවා පිටවූයේ නැත. එසේ සිටගෙන සිටියේ අවසන් කටයුතු සිදු කළ පියාය. නිවැසියෝ හිස් ලුලූ අත දිව යාමට පටන් ගත්හ.

ඔවුන් එසේ දිව යද්දී සිය පියා ඔවුන් පසුපස ආවේ උඹලා දුවන්නේ කොහෙද යකෝ? මම දැකලා නැති එකෙක්ද අසමිනි. ඔහුගේ ආදාහනය සිදු කර හත් දවසේ දානයද දුන් බව ඔහු දැන සිටියේ නැත. බියවූ දරුවන්ට පසුව කපුවකු ලවා නූල් බඳින ලදී.

නිවැසියන් පොලිසියේ පිහිට පැතුවේ වෙන කිරීමට කිසිවකුත් නොමැති නිසාවෙනි. එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ප්‍රථමයෙන් සිදු කළේ මේ සිටින්නේ හොල්මනක් නොවන බව නිවැසියන්ට තේරුම් කර දීමයි. එය සාර්ථක වූ පසු මියගිය බවට සැලකූ කෝපියාවත්ත දන්දිරිස් පෙරේරා නොහොත් ‘කළුතර මාමා’ පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන යන්නේ විමර්ශන සිදුකිරීමටය.

පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ‘කළුතර මාමා’ කියා සිටියේ තමා කොළොන්නාව පැත්තේ තැනක වැඩට ගිය බවය. ‘‘ගෙදර අය මට සලකන්නේ නෑ. කොරෝනා නිසා මම එහෙට වෙලා හිටියා. මම මේ කිසිම දෙයක් දන්නෙ නැහැ. මම ගෙදර ආව ගමන් මිනිස්සු බයවෙලා දිව්වා. මට පුදුම ඇයි මෙහෙම දිව්වෙ කියලා?’’ යනුවෙන්ද ඔහු කීය.

එය එසේ සිදුවූ විට ඊයේ උදෑසන බෝගහවත්ත නමැති යාබද ගම්මානයේ පිරිසක් පැමිණෙන්නේ වළ දමා ඇත්තේ තම පියාගේ සිරුර බව පවසමිනි. ඒ අනුව ඔවුන් පැමිණ මෙම නිවැසියන්ට පවසා ඇත්තේ අවසන් කටයුතු ගෞරවාන්විත ලෙස සිදුකිරීම ගැන ස්තුතිපූර්වක වන බවකි.

අප මේ පිළිබඳව කළුතර මාමාගේ ලේලිය වන නිශාන්ති මහත්මිය සම්බන්ධ කොටගෙන විස්තර විමසීමේදී ප්‍රකාශ කළේ ‘‘පියා මියගිය දිනයේ පණිවුඩයක් ආවා. ඒ අනුව දේහ ලක්ෂණ, සියලුම දෙය සමාන වූ නිසා පියා බවට හඳුනාගෙන නිවසට ගෙනැවිත් අවසන් කටයුතු සිදුකළා. තාත්තා බීලා ඇවිල්ලා නිතරම ගෙදර රණ්ඩු සරුවල් කරගෙන අමනාප වී යාම පුරුදු දෙයක්. ගෙදර අම්මත් ඉන්නේ එක්තැන් වෙලා. මේ දේ නිසා අපි හතර වටේටම ණයවෙලා ඉන්නේ. දැන් ඒ මිනියේ අයිති කට්ටිය ඇවිත් ඉන්නවා. එයාලට කියලවත් අපිට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ’’ යනුවෙනි.

මේ සම්බන්ධව අපි මීගොඩ පොලිසියෙන්ද විමසුවෙමු.

‘‘දේහය ඔවුන්ගේ බවට හඳුනාගෙන තිබූ නිසා එය ඔවුනට භාරදීමට කටයුතු කළා. එහෙත් දැන් වෙලා තිබෙන්නේ ඒ පුද්ගලයා නැවත නිවසට ඇවිත්. අවසන් කටයුතු සිදුකළ දේහයේ අයිතිකරුවන් බව කියන පිරිසක් පැමිණ තිබෙනවා. දැන් මෙම දේහය නැවත ගොඩගෙන ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකළ යුතුයි. එසේ කිරීමෙන් අනතුරුව ඩී.එන්.ඒ. දත්තවලට ගැළපේ නම් ඒ අයට දේහය භාර දීම සිදු කරනවා.’’


හේමන්ත ලියනපතිරණ