සුපිරි බොලිවුඩ් නළු හා චිත්‍රපට නිෂ්පාදක ෂාරුක් ඛාන් විසින් නිෂ්පාදනය කරන ලද ත්‍රාසජනක වෙබ් කතා මාලාවක් වන බීටාල් 2020 මැයි 24 සිට නෙට්ෆ්ලික්ස්හි විකාශය වීමට සූදානම් වී තිබුණද එය ප්‍රචාරය කිරීමට
පෙර බීටාල් නිෂ්පාදකයින්ට නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇත. ඒ මරාති ලේඛකයින් දෙදෙනෙකු වන සමීර් වඩේකර් සහ මහේෂ් ගෝස්වාමි විසින් නෙට්ෆ්ලික්ස් වෙත තම කර්තෘ හිමිකම් වෙනුවෙන් නඩුවක් ගොනු කිරීම හේතුවෙනි.
මෙහිදී කියැවෙන්නේ පිටපතක ඇති අන්තර්ගතය ෂාරුක් සොරකම් කර ඇති බවයි.


ෂාරුක් ඛාන්ගේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සමාගමට සහ නෙට්ෆ්ලික්ස් ආයතනයට එරෙහිව ඔවුන් මෙසේ නඩු පවරා ඇත. එමෙන්ම ඔවුන්ගේ සොම්බි චිත්‍රපටය වන වෙටාල්හි අන්තර්ගතය  ඉවත් කිරීම  සම්බන්ධයෙන් ද ඔවුන් චෝදනා නගා ඇත.

පසුගිය සතියේ බීටාල්හි ට්‍රේලරය නිකුත් කිරීමෙන් පසුව සමීර් වඩේකර් සහ මහේෂ් ගෝස්වාමි බොම්බේ මහාධිකරණය වෙත ගොස් මෙසේ තම නිර්මාණය සොරකම් කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් ගොනු කර ඇති බව මිඩ්-ඩේ වාර්තාවකද දැක්වේ.

එමෙන්ම සමීර් ටැබ්ලොයිඩ් පුවත්පතකට පවසා ඇත්තේ ඔවුන්ගේ පිටපත නිෂ්පාදන ආයතන කිහිපයකට ගෙන ගිය නමුත් එය රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් වෙත යොමු කර නොතිබුණ බවය. එබැවින් වගකීම ඔවුන් මත දැමිය නොහැකි බව ඔවුන් පවසයි. නමුත් තම පිටපත ඔවුන් වෙත ළඟා වූයේ කෙසේදැයි සොයා බැලීමට කටයුතු කළ යුතු බව ඔහු තරයේ පවසා ඇත. එමෙන්ම තම  තිර රචනය, තිර රචකයන්ගේ සංගමය සමඟ ලියාපදිංචි වී වසරකට පසුව 2019 ජූලි මාසයේදී ප්‍රදර්ශනය ආරම්භ වූ බවත් ඒ සම්බන්ධයෙන් එස් ඩබ්ලිව් ඒ  වෙතද පැමිණිල්ලක් ලියාපදිංචි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.


වෙටාල් සහ බීටාල් යන දෙඅංශයේම සමානකම් ගැන අදහස් දක්වමින් සමීර් තවදුරටත් කියා සිට ඇත්තේ අවම වශයෙන් කතා සැලැස්මේ කරුණු 10 ක් වත් සමාන බවය. එමෙන්ම තමාගේ තිර රචනයේ තිබූ රූප දර්ශන හා සමාන දර්ශනයන් ඔවුන්ගේ ට්‍රේලරයට ඇතුළත් කර ඇති බව පෙන්වා දෙන ඔවුන් පිටපත සොරකම් කිරීම සම්බන්ධ චෝදනා ඔප්පු වුවහොත් වන්දි ලබා ගත හැකි බවද අධිකරණය සහතික කර තිබෙන බවද පවසා ඇත. නමුත් නෙට්ෆ්ලික්ස් සහ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් මෙම බරපතල චෝදනාවලට තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

නමුත් සටහනක් මගින් නෙට්ෆ්ලික්ස් විසින් සෙනසුරාදා රාත්‍රියේ බීටාල් හි සුවිශේෂී තොරතුරු හුවමාරු කර ගැනීමට සැලසුම් කර ඇත.  ඒ අනුව Horror Night with Betaal නමින් සජීවී ප්‍රසංගයක් යූ ටියුබ් හි රාත්‍රී 7 ට තිරගත වීමට නියමිත ය.  බීටාල්හි ප්‍රධාන නළුවන් වන විනීත් කුමාර් සිං, අහානා කුම්රා සමඟ අධ්‍යක්ෂවරුන් වන පැට්‍රික් ග්‍රැහැම් සහ නිඛිල් මහජාන් මෙම ප්‍රසංගයෙන් පසුව විනෝදකාමී කතාබහකද නිරතවනු ඇත.
කෙසේවෙතත් මෙම නඩුව සම්බන්ධයෙන් තවමත් නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බැවින් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධව දැඩි අවධානයෙන් සිටියි.
  -(රිස්මි ඉෂාරා)