ලොක්ඩවුන් නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ව රඳවා තබාගැනීමේ ආරක්ෂිත ක්‍රමවේදයක් ගැන ඉන්දීය පොලීසිය හෙළි කර තිබෙයි. කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ ක්‍රියාත්මක වන
ලොක්ඩවුන් සැලැස්මට සහ‍ාය නොදක්වන පුද්ගලයන්ට මිදී යෑමට ඉඩ නොදී
රඳවා තබාගැනීමට ඉන්දීය බලධාරීන් විශේෂ උපකරණයක් භාවිත කිරීම ආරම්භ කර තිබේ. මෙය යොදාගැනෙන්‍‍නේ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමේ අරමුණෙන්ය.


මෙම උපකරණය භාවිත කරන අන්දම ඇතුළත් වීඩියෝවක් උතුරු ඉන්දියාවේ චන්දිගාරා නගරයේ පොලිස් දෙපාර්තුමේන්තුව විසින් සෙනසුරාදා ට්වීටර් මාධ්‍ය ජාලයේ පළ කර තිබුණි.
එම පොලිස් ස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් සන්ජේ බානිවල් සඳහන් කර තිබුණේ “චන්දිගාරා පොලීසියේ ආරක්ෂක අංශය විසින් කොරෝනා වැළඳී ඇතැයි සැක සහිත නමුත් සැලසුම්වලට සහාය නොදක්වන පුද්ගලයන්ව සහ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන්ව හැසිරවීමට මෙම විශේෂ උපකරණය නිපදවූ” බවය.

සමාජ මාධ්‍යයේ පළ කරන ලද මෙම වීඩියෝව පිළිබඳව සමහරුන් අගය කර අදහස් පළ කර ඇති අතර තවත් සමහරුන් එම උපකරණය භාවිත කිරීම අමානුෂික ක්‍රියාවක් බව පවසා තිබේ.

චන්දිගාරා නගරයේ  Indian Express පුවත්පතෙහි පුවත්පත් වේදියෙක් වන මාන් චන්දිගාරා අමාන් සිං පොලීසියේ මෙම ක්‍රියාකලාපය විවේචනය කරමින් තම ටීවීටර් ගිණුමේ සඳහන් කර තිබුණේ මිනිසුන්ට මෙසේ සැලකීම ලැජ්ජා සහගත ක්‍රියාවක් වන බවය.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෙක් වන පව්නීත් සිං පැවසුවේ මෙය “හෙළාදැකිය යුතු” ක්‍රියාවක් වන අතර පොලීසිය මිනිසුන්ට සලකන්නේ “ගවයන්ට සලකන ආකාරයට” බවය.

Covid-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස දැඩි නීති යටතේ මුළු ඉන්දියාවම අගුළු දමන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිවේදනයක් නිකුත් කළේ මාර්තු 24 වෙනිදාය. සාප්පු යළි විවෘත කිරීමට අවසර ලබා දෙමින් සහ ගම්බද පළාත්වල නිෂ්පාදන හා ගොවිතැන් කටයුතුවලට අවසර ලබා දෙමින් මැයි 3වෙනිදා දක්වා ක්‍රියාත්මක වන තහංචි මදක් ලිහිල් කර තිබේ.

ලොක්ඩවුන් අතරේ පවා බොහෝදෙනා නීති රීති උල්ලංඝනය කර ඇති අතර වීදිවල ව්‍යාපාර කටයුතුවල නිරත වී තිබේ.

කොරෝනා වෛරසයට ‍එරෙහිව මිනිසුන් කරන සටන පිළිබඳව සෑහීමට පත් විය නොහැකි බවත් තමන්ගේ පුරුදු වෙනස් කරගෙන සමාජ දුරස්ථභාවය තබාගැනීමට, මුඛ හා නාස් ආවරණ පැළඳීමට සහ පොදු ස්ථානවල කෙළ ගැසීමෙන් වැළකී සිටීමට පුරුදු විය යුතු බවත් ඉරිදා ගුවන්විදුලි වැඩසටහනකට එක් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ ජීවත් වන බිලියන 1.3ක ජනතාවට අනතුරු ඇඟවීය.

අප ගැනම ඕනෙවාට වඩා විශ්වාසය තබමින් මේ කාරණය නොසලකා හැරිය නොහැකි බවත් තවත් කාලයක් ගත වන තුරු මේ පිිළිබඳව ඉමහත් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම ආයුර්වේද ලෙස හඳුන්වන ඉන්දියාවේ සම්ප්‍රදායික ඖෂධ ක්‍රමය ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගැනීමට උපකාරවත් වන බව ඒ මහතා තවදුරටත් පැවසුවේය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අඟහරුවාදා වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 29,451 වාර්තා වන අතර අඩුම තරමින් 939දෙනෙක්වත් ජීවිතක්ෂයට පත් වී තිබුණි.
ට්‍රක් රථයක් අසල සිටගෙන සිටින පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදෙන අතරතුර පුද්ගලයෙකුව අල්ලාගෙන ට්‍රක් රථය කරා ගෙන යෑමට එම උපකරණය භාවිත කරන අයුරු පහතින් ඇති වීඩියෝවේ දැකගත හැකිය.
(Fox News ඇසුරිනි)
එස්. දහනායක