ලුත විවාහ වූ ඇමරිකානු යුවළක් තම මධු සමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි පසුව කොරෝනා හේතුවෙන් නිකුත්වූ සංචාරක අනතුරු ඇඟවීම් නිසා මාස දෙකක කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ සිරවී ඇති අතර ඔවුන් ඒ අතරවාරයේ අන්තර්ජාලය තුළ මේ ගැන පළ කළ විවිධ වීඩියෝ හා විනෝදාංග නිසා ඔවුන් ගැන දැන් ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය තුළ වාර්තා පළවන පසුබිමක් මතුව තිබේ.
ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි මිෂෙල් සහ ජෝන් සෙන්යාඩ් විවාහ වූයේ
මාර්තු 6වෙනිදාය. මධු සමය ගත කිරීමට මුලින් තායිලන්තයට ගොස් තිබු එම යුවළ මාර්තු 8 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.
නමුත් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි දින වන විට වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි වෙනස්වීම්වලට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. ඔවුන් පිටත්ව යෑමට නියමිත ගුවන් යානය අවලංගු වූවා පමණක් නොව ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලය වසා දමා ඔවුන්ව එයින් පිටමං කර තිබුණි. එලෙස විදෙස් රටක අතරමං වූ මේ සෙන්යාඩ් යුවළගේ කතාව ඩේලි මේල් පුවත්පත පළ කර තිබුනේ මෙසේය.

නොසිතූ දෙයකට මුහුණ පෑමට සිදු වූ මෙම යුවළ මාර්තු මාසයේ මැද වන විටත් මුහුදු වෙරළේ කාලය ගත කරමින් සතුටු විය. වසංගතය දරුණු අතට හැරෙද්දී ඔවුන්ට නිවෙස් බලා පිටත් වීමට තිබූ ගුවන් ගමන අවලංගු වූ අතර සියලුම ඇමරිකානුවන්ට නිවෙස් බලා පැමිණෙන ලෙස දන්වමින් එක්සත් ජනපදය මගින් ලෝක සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදි.

මෙම යුවළ උත්සාහ කළේ නිවෙස් බලා පිටත් වීමට වෙනත් ගුවන් යානයක් වෙන් කර ගැනීමටය. නමුත් ඔවුන් ඉදිරියේ තිබූ තේරීම් සීමා සහිත බව මිෂෙල් අදහස් දැක්වීය.‍ ඔවුන්ට තෝරාගැනීම සඳහා තිබූ සෑම ගුවන් ගමනක්ම පැය 40ක් හෝ ඊට වඩා වැඩි ඒවා වූ අතර එම ගුවන් යානා වෙනත් රටවලද නතර කරයි. එමනිසා ඔවුන්ට බොහෝ මගීන් පිරිසකට නිරාවරණය වීමට සිදු වන අතර ඇතැම් විට වෛරසය ආසාදනය වීමටද ඉඩ තිබුණි.

අවසානයේදී ඔවුන්ට වෙනත් ගුවන් යානයක් වෙන් කරවාගත හැකි වුවද පසුව එයද අවලංගු විය. ‍සෙන්යාඩ් යුවළට දැනුණේ අතරමං වීමේ ලකුණුය. ශ්‍රී ලංකාවටම ඇඳිරි නීතිය පනවා තිබෙන බවද මාර්ග වසා දැමෙන බවද තවත් පැය කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ නිවේදනයක් නිකුත් කරන ලදි. ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලය කඩිනමින් වසා දැමුණු අතර තම බෑග් සූදානම් කරගෙන නවාතැන් ගැනීම සඳහා අලුත් ස්ථානයක් සොයාගැනීමට ඔවුන්ට ලැබුණේ පැය කිහිපයක් පමණය. අනෙක් හෝටල්ද වසා දැමුණු අතර හිසට සෙවණක් සොයාගන්නේ කොතැනින්ද කියා නොදැන සිටි මෙම යුවළට අවදානමක් මතුවිය.

පරිශ්‍රමයක නිරතවීමෙන් පසු වෙනත් නවාතැන් ගන්නා ස්ථානයක් සොයාගැනීමට ඔවුන් සමත් විය. එම ස්ථානයේ නවාතැන් ගෙන සිටි අනෙකුත් අමුත්තන් පිටව ගොස් තිබුණද ඔවුන්ව භාරගැනීමට එම නවාතැන් ස්ථානය එකඟ විය.
“රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මිනිසුන්ට වෙළඳ සැලකටවත් යෑමට හැකියාවක් නැහැ. එම ඇඳිරි නීතිය දිනයක්, දින තුනක් හෝ සතියක් පුරා පවා එක දිගට බලපැවැත්විය හැකිය” 
ඔවුන්ට වෙළඳසැලකට යෑමට අවස්ථාව උදා වූ විට පවා උදෑසන 5:30 අවදි වී පැය හතරක් හෝ පහක් පෝලිම්වල රැඳී සිටීමට සිදු වේ. මෙසේ වෙළඳසැලකට ගොස් නැවත පැමිණීමෙන් පසුව
“මම වකුටු වෙලා හොඳටම ඇඬුවා. ආයේ ආයේ මේ විදිහට යන්න වෙනවා කියලා මතක් වෙද්දී ඒක මගේ මනසට ලොකු විඩාවක් සේ දැනුණා”
 “අපි දැන් ටීම් එකක් කියලත් එය කුඩා වුවත් බලවත් කියලත් මගේ ස්වාමිපුරුෂයා මට මතක් කළා.”
මිෂෙල් කියයි.

සියලු සැලසුම්ඔ වෙනස්වු පසු ඔවුන් සැන් ෆ්‍රැන්සිස්කෝ වේලාවෙන් මෙහි සිට රැකියාවේද නිරතවී තිබේ. ඔවුන්ට වැඩ කිරීමට සිදු වන්නේ රාත්‍රියේදී වන අතර පාන්දර වන තෙක් වැඩ කිරීමට සිදු වේ. ඔවුන්ට මෙලෙස රැකියාවේ නිරත වීමට අවස්ථාව ලැබීම නිසා තම නිවසේ බිල්පත් ගෙවීමට සහ ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වියදම් දැරීමට හැකියාව ලැබුණ බව සඳහන් කර තිබේ.

මුහුණ දීමට සිදු වී තිබෙන තත්ත්වයන් යටතේ පවා ඔවුන් ධනාත්මකව සිතූ බව මිෂෙල් සඳහන් කරයි.
“ගෝලීය වසංගතයක් මධ්‍යයේ විදෙස් රටක සිටීමට සිදු වීම අපේ විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට උපකාරවත් වුණා. ජෝන්ට සහ මට සෑම දෙයක්ම කිරීමට තිබෙන්නේ ටීම් එකක් විදිහට. ධනාත්මක සිතුවිලි පවත්වාගැනීම, ශ්‍රී ලංකාවට හැඩගැසිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම, බඩු මිල දී ගැනීමට කඩසාප්පුවලට යෑම, ආහාර පිසීම, රෙදි සේදීම, අපේ කාමරයට පැමිණෙන ගෙම්බන්ව සහ කෘමීන්ව එළවීම සහ අපේ වියදම් ගණන් බැලීම වැනි සියලුම කාර්යයන් අපි හවුලේ සිදු කරනවා” මිෂෙල් අදහස් දැක්වුවාය.

ඔවුහූ ව්‍යායාම්වලද නිරත වෙති. එපමණක්ද නොව ශ්‍රී ලාංකික සංස්කෘතියට මුහුණ දීමටද ඔවුන්ට අවස්ථාව උදා වී තිබේ.  ඔවුන් පරිප්පු වැනි ව්‍යාංජන සහ පැණි පොල් රොටී වැනි ආහාර පිළියෙල කරන්නටද මේ කාලයේ ඉගෙන ගෙන තිබේ.

මේ කාලයේ ඔවුන් විනෝද වීමටද අමතක කළේ නැත. පිටතට යෑමට හැකි වූ විට රළ පැදීමේ හවුල් වීම, උදෑසනින්ම අවදි වී හිරු නැඟ ඒම නැරඹීම, හිරු බැස යෑම නැරඹීම සහ එක්ව කියවීමේ යෙදීම ඔවුන් රසවිඳින ක්‍රියාකාරකම් අතරට අයත්ය.
“අපි හැම වෙලේම කාලය ගත කරන්නේ හිනාවෙන්, විහිළු තහළු කරමින්. හෙට දවස මොන වගේ වෙයිද කියා අප දන්නේ නැහැ. එමනිසා හැම උදා වෙන හැම දිනක්ම අපට දැනෙන්නේ ත්‍යාගයක් වශයෙනි” කියා ඇය ඉන්ස්ටග්‍රැම් සටහනක් දමා තිබුණි.
“අපේ සැලසුම් සියල්ල සාර්ථක වුණේ නැහැ තමයි. නමුත් ශ්‍රී ලාංකිකයන් අපව හොඳින් බලාගත්තා‍. මේ දිනවල අප වගේ සංචාරකයන් දකින විට ඔවුන් තුළ නොසන්සුන් බවක් ඇති වන බව අපට වැටහෙනවා. නමුත් එය ඔවුන්ගේ සැබෑ ආගන්තුක සත්කාරශීලි ස්වභාවයට බාධා වෙලා නැහැ.”

“අපේ ඩ්‍රයිවත් අපිව ගොඩක් ආරක්ෂා කරනවා. අපේ අවශ්‍යතා වෙනුවෙන් ඔහු අපිට ගොඩක් උපකාර කරලා තියෙනවා. එයා තිරයේ පිටුපස ඉඳලා අපිව අනතුරුවලින් ආරක්ෂා කරමින් අපිට මෙම නිවාඩුව සතුටින් භුක්ති විඳීම සඳහා දිරි දෙනවා. . . . අපට පාලනය කළ නොහැකි බොහෝ දේ තිබුණත් අප උත්සාහ කරන්නේ උදා වී තිබෙන තත්වය යටතේ අපේ උපරිමය කිරීමය.” මිෂෙල් අදහස් දැක්වුවාය.

(Dailymail ඇසුරිනි)
එස්. දහනායක
[May20, 2020 - Gossiplankanews.com]