ඇඳිරී නීතිය පැවැති පසුගිය මාස දෙකක කාලය තුළදී  සුපිරී වෙළඳ සංකීර්ණයක පිහිටි තොග භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයකින් අවස්ථා පහළොවකදී රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ සොරාගත් පුද්ගලයන්
දෙදෙනෙකු ඊයේ (19දා) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලීසිය පවසයි. සැකකරුවන් කිරුළපන, කුඹිකැලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු හා නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
 වෙළෙඳ සංකීර්ණයේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු රාජකාරියේ යොදවා සිටියදී මෙම සොරකම සිදුව ඇති බවත්, සොරාගත් භාණ්ඩවලින් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා භාණ්ඩ ප්‍රමාණයක් සොයාගත් බවත් පොලීසිය පවසයි.
කිරුළපන පොදු වෙළෙඳ සංකීර්ණය ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ අතර, ඉකුත් එකොළොස් වැනිදා නැවත අලෙවි සැල් විවෘත කිරීමේදී එක් වෙළෙඳ සලක් කඩා භාණ්ඩ සොරාගෙන තිබූ බැවින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.
ඒවනවිට
කිසියම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය භාණ්ඩවල වටිනාකමින් අඩක් අය කරමින් ඉතා අඩු මිලට ප්‍රදේශය පුරා භාණ්ඩ අලෙවි කරන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර, එහෙත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම උදෙසා කිසිවෙකුගෙන් හෝ පැමිණිල්ලක් පැමිණ නොතිබූ බැවින් පොලීසිය අදාළ සැකකරු පිළිබඳව සෝදිසියෙන් සිටි බවත්, අදාළ සොරකම පිළිබඳව පැමිණිල්ල ලැබීමත් සමග මේ පිළිබඳව විමර්ශනය කොට සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයෙකු සමග අලෙවි සැල කඩා අවස්ථා 15කදී රුපියල් 922.500.00 වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙසේ සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි. සැකකරුවන්ගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අදාළ වෙළෙඳ සැලෙන් සොරාගත් භාණ්ඩ පිටුපස ඇළ මාර්ගයක් ඔන්සේ නිවෙසට ගෙන ගොස් අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබුණි. ඒ අනුව කිරුළපන සිද්ධාර්ථ මාවත, කුඹිකැලේ සහ නාරාහේන්පිට ඇතුළු ප්‍රදේශ කිහිපයකට විකුණා තිබූ හාල් කිලෝ 10 මිටි 15ක්ද, සීනි කිලෝ 50 මිටි නවයක්ද. කිරි පිටි, සබන් වර්ග, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ද සොයාගත් බව පොලීසිය පවසයි. සොරාගත් භාණ්ඩ අලෙවියෙන් ලද සියලු මුදල් සැකකරුවන් විසින් හෙරොයින් පානය සඳහා වැය කර ඇති බවද පොලීසිය පවසයි.

 මින් එක් සැකකරුවෙක් මීට වසර කිහිපයකට පෙර සුපිරි වෙළෙඳ සංකීර්ණය  ඉදිරිපිට ලොරි රථයක් තබාගෙන කුලී ගමන් ගමන් ගිය අයෙකු බවද පැවසේ.
  කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන   පොලිස් පරික්ෂක චන්දන කළුආරච්චි මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ෂන  අංශයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක  ප්‍රදීප්එදිරිවීර මහතාගේ මෙහෙය විමෙන්  ජයවීර ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.

මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න