පොලිස් නිල ලාංඡනය සහිත ක්‍රීඩා ඇඳුමකින් සැරසී නිල හැඳුනුම්පත පෙන්වමින් ඇඳිරි නීතිය පැවති කාලය පුරාම මීරිගම පල්ලෙවෙල හා වේයන්ගොඩ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙඳුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේදා (18) මත්කුඩු පැකට් සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලෙවෙල‍ කාක්කැලේවත්ත මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කර ඇති බවත් ඔහු කලක සිට මන්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට මත්කුඩු සැපයීමේ නිරතව සිටි පුද්ගලයකු බවත් පොලිසිය හෙළිකරගෙන ඇත.
  මෙසේ මන්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව ඇතැයි  කියන පොලිස් කොස්තාපල්වරයා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය පුරාවට සේවයට වාර්තා කර නැතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඔහු පොලිස් නිල ලාංඡනය සහිත ඇඳුමින් සැරසී හැඳුනුම්පත ද උපයෝගී කර ගනිමින් කොළඹ හා පෑලියගොඩ ප්‍රදේශවලින් ලබා ගන්නා මත්කුඩු බෙදාහැරීමේ නිරතව ඇතැයි ද මේ පිළිබඳව ලත් තොරතුරු මත පල්ලෙවෙල පොලිසියේ රථවාහන අශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහතා ඉකුත් 17 වැනිදා වේරගොඩ කනත්ත අසල දී සිදු කළ වැටලීමකදී සැකකාර කොස්තාපල්වරයා හෙරොයින් මිලිග්‍රෑම් 580 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මහාධිකරණය හමුවේම කුඩු ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය කියයි. ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.කේ. ඉන්දික ද සිල්වා මහතාංගේ උපදෙස් හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියන්ත රත්නායක මහතා මෙහෙයවීම මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි

(මීරිගම -පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ වාරණ ආනන්ද ජයකොඩි)