ව කොරෝනා වෛරසය සමඟ රටේ ඉදිරි ගමන සිදු වන්‍නේ කෙසේදැයි හොං කොං විශ්වවිද්‍යාලයේ ‍මහජන සෞඛ්‍ය විද්‍යාලයේ වෛරස පිළිබඳ අධ්‍යයනවේදී  ශ්‍රී ලාංකික මහාචාර්ය වරයෙකු වන මලික් පීරිස් මහතා විසින් අදහස් පළ කර තිබේ.
හොං කොං රටේ කොරෝනා වෛරසය ව්‍යාප්තියේ මුල් රැල්ල ඇති වූයේ
ජනවාරි මාසයේ මැද සිට පෙබරවාරි මාසය අවසානය දක්වාය. ඊට මූලික වශයෙන් හේතු වූයේ චීනයේ සිට පැමිණි පුද්ගලයන් සහ ඉන් අනතුරුව රට තුළ වෛරසය සම්ප්‍රේෂණය වීමය. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගන්නා ලද අනෙකුත් පියවරවලට අමතරව රෝගය වැළඳී තිබෙන පුද්ගලයන්ව හඳුනාගැනීමට කඩිනම් PCR පරීක්ෂණ සිදු කරනු ලැබූ අතර කොරෝනා වැළඳී ඇතැයි සැක සහිත පුද්ගලයන්ව සහ ඔවුන්ව ඇසුරු කළ පුද්ගලයන්ව හඳුනාගෙන වෛද්‍ය අධීක්ෂණය යටතට ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කෙරුණි.

රටට ඇතුල් වන සියලුම සංචාරකයන්ව වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට හොං කොං රට මෑතක සිට පියවර ගෙන තිබේ. එම නිසා පරීක්ෂණය සිදු කර කොරෝනා වැළඳී නොමැති බවට තහවුරු කරගන්නා තෙක් කිසිවෙකුට ගුවන් ත‍ොටුපොළෙන් පිටවීමට අවසර නැත.
හොං කොං රටේ දෙවෙනි කොරෝනා රැල්ල (මාර්තු මාසය පුරා සහ අප්‍රියෙල් මාසය මුලදී) ඇති වූයේ චීනයේ සිට ආ පුද්ගලයන් නිසා නොව ප්‍රධාන වශයෙන්ම එක්සත් රාජධානියෙන් සහ තවත් යුරෝපීය රටවලින් නැවත මව් රට බලා පැමිණි හොං කොං  ජාතික ශිෂ්‍යයන්ගෙනි. මේ වනවිට බොහෝ දුරට පාලනයවී ඇත.
පසුගිය දවස් 5 ඇතුළත කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවූ බව පැවසූ මහාචාර්ය පීරිස් මහතා, ගෙන තිබෙන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස හොං කොං රටේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වී තිබෙන බව සඳහන් කළේය.

“අප අගුළු දැමීමක් යටතේ නොසිටියත් සමාජ දුරස්ථභාවයට සම්බන්ධ නීති රීති නිසා අපේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. එමනිසා සමාජ දුරස්ථභාවය දිගටම පවත්වාගෙන යෑමට අපට අපහසුය. පනවා තිබෙන යම් නීති රීති ලබන සතියේ සිට ලිහිල් කිරීමට හොංකොං රජය විසින් පියවර ගන්නවා. මෙය රෝගයක් බවත් එය අපෙන් ඉවත නොයන ගැටලුවක් බවත් සියලුදෙනා වටහාගත යුතුය”  ඔහු පැවසීය.

මෙය කෙටි දුර ධාවන තරඟයක් නොව මැරතන් ධාවන තරඟයක් බව ඔහු කියා සිටියි. එමනිසා මෙම වසංගතයේ ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි වන්නේ ජනතාවගෙන් සියයට 50ක් හෝ ඊට වැඩි ගණනකට මෙම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් ඇති වූ විට පමණක් බව ඔහු පවසයි. එම ප්‍රතිශක්තිකරණය ඇති කරගත හැකි එකම ක්‍රමය වන්නේ ස්වාභාවික ආසාදනයක් මගින් (එය භයානකය) හෝ එන්නක් මගින් පමණි. නමුත් එන්නතක් ලබා නිපදවීමට තව අවුරුද්දක් පමණ කාලයක් ගත වනු ඇති බව අපි දනිමු.

“මෙම වසංගත තත්වය පාලනය කිරීමට දීර්ඝ කාලයක් පුරා වෑයම් දැරීම අවශ්‍යය. එම නිසා ඉක්මනින්ම කාරණා යථා තත්වයට පත් වේ යැයි සිතිය නොහැකිය. නමුත් වෛරසය හේතුවෙන් පනවන ලද නීති රීති ලිහිල් කිරීමට අප වෑයම් දැරිය යුතුය” යන්න ඒ මහතාගේ පණිවිඩයය.

අප සිටින තත්වය මහාචාර්ය පීරිස් මහතා උදාහරණයකින් විස්තර කළේ මෙ‍ලෙසය. එනම් ඔබ උස් කන්දක් මුදුනේ මෝටර් රථයක් තුළ සිටිනවා යැයි සිතන්න. ඔබ කන්ද මුදුනේ සන්සුන්ව සිටියද ඔබ කන්දෙන් පහළට බැසීම අවශ්‍යය. එය කළ හැකි එකම ක්‍රමය වන්නේ තිරිංග තද කරමින් සහ ලිහිල් කරමින් මෝටර් රථය කන්දෙන් පහළට ධාවනය කිරීමයි. මෙහිදී බුද්ධිමත් ලෙස අවශ්‍ය අවස්ථාවලදී තිරිංග තදින් පෑගීමටද තවත් අවස්ථාවලදී ලිහිල්ව පෑගීමට සිදු වේ. එවිට මෝටර් රථය පාලනයකින් තොරව පල්ලමට ධාවනය නොවේ.

“ඉදිරියේදී හොංකොං රජය පනවා තිබෙන නීති රීති ක්‍රමානුකූලව ලිහිල් කරයි. නමුත් එය එය සිදු වන්නේ දැඩි අධීක්ෂණය යටතේ වන අතර ඉතා දැඩි ලෙස වෛද්‍ය පරීක්ෂණද ක්‍රියාත්මකයි. නමුත් නැවතත් හදිසි තත්වයක් ඇති වුවහොත් සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති රීති යළි පනවනු ලැබේ” කියා ඒ මහතා තවදුරටත් පැවසීය.

සමාජ සබඳතා පිළිබඳව තොරතුරු රැස් කිරීමේ වැදගත්කම පිළිබඳවද පීරිස් මහතා අවධාරණය කළේය. “ආසාදනයන්ගෙන් සියයට 45ක්ම වෙනත් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය වන්නේ මුල් පුද්ගලයාට රෝග ලක්ෂණ පහළ වීමට පෙර බව සිදු කරන ලද අධ්‍යයනවලින් අපට පැහැදිලිය. තමාට රෝගය වැළඳී ඇති බවට පුද්ගලයෙකු දැනගැනීමට පෙර ඔහුගෙන්/ඇයගෙන් බොහෝ පිරිසකට එය සම්ප්‍රේෂණය වුණොත් එම පුද්ගලයාව හඳුනාගත් පසු ඔහුව/ඇයව වෙන් කර තැබීම ප්‍රමාණවත් නොවේ. සමාජ සබඳතා පිළිබඳව දැඩි සොයා බැලීමක් සිදු කිරීම ඉමහත් වැදගත්කමක් උසුලන්නේ ඒ හේතුවෙනි.”

එස් දහනායක (Sunday Times ඇසුරිනි)
[May05, 2020 - Gossiplankanews.com]