හෙට (11) සදුදා රට විවෘත කිරීමට පවතින සූදානම සම්බන්ධයෙන් අලුත් තොරතුරු කිහිපයක් ලැබී තිබේ.
හෙට සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳව හා දිස්ත්‍රික් අතර ගමනාගමනය කෙසේ සිදුවේද යන්න ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන අතර හෙට සිට
සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය ගැන සෞඛ්‍ය ඇමතිතුමියගේ ගැසට් නිවේදනයක් අද (10) දහවල් හෝ රාත්‍රියේ පළවීමටද නියමිතය. මෙම ගැසට් නිවේදනයෙන් අපේක්ෂා කරන්නේ මේ දක්වා මාර්ගෝපදේශ ලෙස පළවූ සෞඛ්‍ය පුරුදු ගැන විස්තර නීතිගත කිරීමය.

මේ අතර හෙටින් පසු කොරෝනා ආසාදිතයින් හමුවීම අනුව නැවත ඇඳිරි නීති පනවන්නේද නැද්ද යන්න බොහෝ අයට පවතින ගැටලුවකි.

ඒ ගැන පිළිතුරක් රජය තවම නිල වශයෙන් ලබාදී නැති නමුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා කියූ කාරණාවකින් එයට යම් ඉඟියක් සපයා ඇති අතර එයින් පැවසුනේ ඉදිරි කාලයේදී කොරෝනා රෝගීන් හමු වුණොත් එය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශ පමණක් තාවකාලිකව වසා දමා ​රෝගීන් ඇසුරු කළ සමීපතමයන් පරීක්ෂා කර නිරෝධායනයට යොමු කරන බවයි. පොකුරු වශයෙන් වාර්තා වන ප්‍රදේශ පමණක් ඒ අනුව හුදෙකලා කරනු ඇත.

මේ අතර පාසල් නැවත ආරම්භ කිරීමට යොදාගෙන තිබූ හෙට 11 දිනයේ එය කලින් සැලසුම් කළ පරිදි සිදු කරන්නේ නැති අතර දිනය ගැන පසුව දැනුම් දේ. පාසල් නැවත ආරම්භ කිරීමේදි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දක්වමින් හෙට දිනයේ උපදෙස් මලාවක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා ඇත.යළි පාසල් ආරම්භ කරන විට සිසුන්ගේ දෙමාපියන් පළමු සතියේ පාසලට කැඳවා සැලැස්මක් සකස්කර ගත යුතුව ඇති බව අමාත්‍යංශය දන්වා ඇත.

සඳුදා රාජකාරී ස්ථාන වෙත යාමට බලාපොරොත්තුවෙන් සිටින අය වෙනුවෙන් බස් රථ 5700ක් දිවයින පුරා ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසා ඇත.
ඉන් 3000ක් 11 වැනිදා සිට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක 21 සඳහා යොදවා ඇති අතර ඉතිරි 2700 යොදවා ඇත්තේ ඇඳිරිනීතිය පවතින කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහායි.
දුර ගමන් සේවා බස් රථ සහ දිස්ත්‍රික්ක අතර බස් රථ ගමන් කිරීමක් සිදුවන්නේ නැත.

කිසියම් හෝ ආයතනයකට වෙනත් දිස්ත්‍රික්කයක සිට කොළඹට සේවකයින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වන්නේනම් ආයතන ප්‍රධානියා හරහා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සේවකයින් සංඛ්‍යාවද ඇතුළත් වන පරිදි  tgmoperation@sltb.lk ඊමේලයට ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බව දන්වා ඇත.

හෙටින් ආරම්භ වන මෙම සතිය සඳහා කාර්යාල දුම්රිය 10 ක් යොදවා ඇත. නමුත් ඒවායේ ගමන් කළ හැක්කේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ මගීන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.

අත්‍යවශ්‍ය ‍සේවාවන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත කළ ඉල්ලීම්වලට ආදාළව පළමු සතිය සඳහා ලියාපදිංචිකිරීම් සිදු කළ බවද පවසා ඇත.

අවසර හිමි නොවන කිසිදු මගියෙකුට දුම්රිය ස්ථානයට පැමිණීමට හෝ අවසර හිමි නොවනු ඇති අතර
ලබන 18 වැනිදායින් ආරම්භ වන සතිය සඳහා ගමන් කළ හැක්කේ 11 වනදා සිට 13 වැනි දා දක්වා ලියාපදිංචි වන වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණක් බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ www.railway.gov.lk නිල වෙබ් අඩවියේ වැඩි විස්තර දක්වා ඇති බවද කියැවිණි. කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ජනතාවගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා වන විශේෂ කැමරා පද්ධතියක් ඊයේ ස්ථාපිත කර තිබේ.

තවත් විස්තර පෙර ලිපියෙන්
11 සඳුදා මොකද වෙන්නේ?