දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය යටතේ පවතින බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කය ලබන සඳුදා (11) සිට කාර්යාල කටයුතු සඳහා ඇරඹීමේ සූදානමක් ගැන රජය ටික දිනෙක සිට දැනුම් දී තිබේ. ඒ ගැන නිල වශයෙන් අද (9) සවස හෝ හෙට (10) නිවේදන නිකුත් වීමට නියමිතය. දැනට ඒ ගැන පළවී තිබෙන ආරංචි මෙසේය.

රජයේ කාර්යාල වල තත්වය

රට විවෘත කිරීමෙන් පසු සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන් අතරින් සියයට 20ක් සේවය සඳහා කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කර තිබේ.
එසේ සේවයට කැඳවන රාජ්‍ය සේවකයන්, තම සේවා ස්ථානයට ආසන්න ප්‍රදේශවල පදිංචි අය
වනු ඇති බවත් ලේකම්වරයා පවසයි.

එලෙස කැඳවනු ලබන සේවකයන්ගේ රාජකාරි කාලය පැය අටට සීමා නොකෙරෙන අතර ආයතන ප්‍රධානියා විසින් පවරනු ලබන රාජකාරි කටයුතු අවසන් කිරීමෙන් පසු ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සේවය අවසන් කර බැහැර වීමට අවස්ථාව සැලසෙයි.
ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් සිටින රාජ්‍ය සේවකයන්, මේ අවස්ථාවේ රාජකාරි සඳහා කැඳවීමක් සිදු නොවන බවත් තමන්ට පහසු ඇඳුමකින් සැරසී රාජකාරියට පැමිණිය හැකි බවත් දන්වා ඇත.
සියලුම රාජ්‍ය ආයතන අද (9දා) සහ හෙට (10දා) සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර විෂබීජහරණ කටයුතු සිදු කිරීමට විධිවිධාන සලසා ඇති බවද ලේකම්වරයා සඳහන් කර තිබෙයි.
ලබන සඳුදා රජයේ කාර්යාලවල සේවා කටයුතු ආරම්භ කිරීමෙන් පසු රාජ්‍ය ආයතන වෙත පැමිණීම සීමා කරන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරන රාජ්‍ය පරිපාලන ලේකම් හෙට්ටිආරච්චි මහතා, අත්‍යවශ්‍ය සේවාවක් සඳහා රජයේ කාර්යාලයකට පැමිණීමට අවශ්‍ය වන්නේ නම් එම ආයතනයට දුරකථන ඇමැතුමක් ලබාදී පූර්ව අනුමැතියක් ලබාගෙන පැමිණිය යුතු බවද අවධාරණය කරයි.

ලංගම බස් සීමිතයි

11 වැනිදා ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් කටයුතු කරන බවද ඔහු මතක් කරයි.
ලබන සදුඳා සිට ලංගම බස් රථ 1500 ක් ධාවනයට එක් කරන බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක මහතා සඳහන් කර තිබේ. සේවා ස්ථාන සඳහා පැමිණෙන සේවක පිරිස් ඉලක්ක කර කාර්යාල වේලාවන් තුළදී ධාවනය කිරීම සඳහා මෙම බස්රථ යොදවන බවත්
දැනට අදාළ දිස්ත්‍රික්කය ඇතුළත පමණක් එම බස්රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සඳහා රජය අවසර ලබාදුන හොත් පමණක් එය සිදු කරන බවත් ඔහු කියා ඇත.
මේ අතර ආයතනවලට අවශ්‍ය නම්, යම් මුදලක් අය කිරීමකින් පසු එම ආයතන සේවකයින් ප්‍රවාහනය සඳහා බස් රථ ලබා දීමට ද හැකියාව පවතින බව ඔහු කීය.

ප්‍රයිවෙට් බස් දුවන්න පුළුවන් වෙන්නෙ සීයට 25 යි

අධි අවදානම් ඇතුළු අනෙකුත් දිස්ත‍්‍රික්ක අනිද්දා (11 වැනිදා) විවෘත කළද පුද්ගලික බස් රථ 75% කට වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක් කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
සහනාධාර නොලැබීම, සේවක අර්බුදය ඇතුළු ගැටලු රැසක් ඊට බලපා ඇති බව ඔහු කියයි.
එසේම ධාවනයට එක් කිරීමට හැකි වන 25% කට අඩු බස්රථ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් ධාවනය කිරීමට හැකි වෙනු ඇති බවට සහතිකයක් දිය නොහැකි බව ද ගැමුණු විජේරත්න මහතා සඳහන් කර තිබේ.

අධිවේගී මාර්ග 11 වැනිදා සිට අරඹයි

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුනු අධිවේගී මාර්ග පද්ධතිය නැවත 11 වැනිදා විවෘත කිරීමට නියමිතයි. අධිවේගී මාර්ග පද්ධතියම රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරීමට නියමිතය.

අයිඩෙන්ටිටි කාර්ඩ් අනිවාර්යයි

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී සදහා පිටත්ව යන පුද්ගලයින් හැර සෙසු පිරිස් ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැර වීම සිදු කල යුතු බවයි

සරසවි කාර්ය මණ්ඩලයට පමණක් විවෘතයි

රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්ය මන්ඩල වලට ලබන 11 වන සදුදා දින සිට නැවත වැඩ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති අතර එහිදී විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල හා අධ්‍යන සේවක මණ්ඩලවල තෝරාගත් පිරිස පමණක් කැඳවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරයි.
එනමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා වූ අධ්‍යනය කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව ඉදිරියේදී දැනුම් දෙන බවට කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේය.

පාසල් වීවාත කිරීමක් සිදු නොවන ලකුණු

සියලු රජයේ පාසැල් 11 වන සදුදා දින නැවත විවෘත කිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැති බවට අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. කෙසේ වුවත් මේ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත ඉදිරියේදී ඒ ගැන දැනුම් දෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.


කොටස් වෙළඳපොළ අරඹයි

වසා දමා තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව නිවේදනය කර තිබේ.
මේ පිළිබඳව  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි.
මේ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතයි.

සතොස විවෘතයි

අනිද්දා (11) සිට දිවයින පුරා සතොස අලෙවිසැල් 400 ක් පමණ විවෘතකර තැබීමට කටයුතු යොදා ඇතැයි සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසා තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට ද සූදානම් බවද ඔහු දන්වා ඇත.

සුරාසැල් විවෘත නැත

එළඹෙන සදුදා (11) සිට ජනජීවිතය යථා තත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීමට රජය තීරණය කර තිබේ.

බේකරි විවෘත නැත

ලබන 11 වන සඳුදා සිට සේවා කටයුතු ආරම්භ කිරීමේදී බේකරි ඇතුළු ආපන ශාලා විවෘත කිරීම සඳහා ගැටළු පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සේවකයන් ගම්බිම් බලා ගොස් ඇති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.


මාර්ගෝපදේශන අත්පොතක්

ලබන 11 වන සදුදා දිනයේ සිට කොරෝනා අවදානම් දිස්ත‍්‍රික් ඇතුළු රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනය වැඩ කිරීමෙන් පසු ඒවායේ කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
‘සේවා ස්ථානවල ‘කොවිඩ්-19’ ව්‍යාප්තවීම වැළැක්වීමට පෙර සූදානම ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශය’ ලෙස එය නම් කර තිබේ.
අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශ ලේඛනය මෙතැනින්

රජයෙන් ගැසට් එකක්

කෙසේවෙතත් නිරෝධායන රෙගුලාසි ඇතුළත් කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට නියමිතයි .
එහිදී පොදු ප‍්‍රවාහන සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන , පොදු ස්ථාන සහ වෙළද සැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද රෙගුලාසි නිකුත් කරනු ලබනු ඇත.