කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යලි නංවාලීම සදහා එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන
සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්‍රයේ නියතු වූවන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් මේ සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.
හෝටල් හිමියන්, මාර්ගෝපදේශකයන්, සංචාරක කුලී රථ රියදුරන්, සංචාරක බස් රථ රියදුරන් සංචාරක ක්ෂේත්‍රයේ නිතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද සමග සාකච්ඡා කර මෙම සහන වැඩ පිළිවෙල සැකසීමට දැනටමත් කටයුතු යොදා තිබේ. රටවල් 48කට ලබා දී තිබූ නිදහස් වීසා පහසුකම්, සංචාරක සංවර්ධන බද්ධට ලබා දී තිබූ සහන තවදුරටත් ලබා දෙනවාද නැද්ද යන්න පිළිබදව ද ඔවුන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ වෙනම යෝජනා වලියක් ඉල්ලා තිබේ. ඊට අමතරව සංචාරක, ගුවන්සේවා ක්ෂේත්‍ර නංවාලීමේ ඒකාබද්ධ සැලසුමක්ද සැකසෙමින් තිබේ. මෙම යෝජනා හා සැලසුම් පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
වත්මන් රජය බලයට පත්වීමත් සමග මෙරටට සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරිණි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ විශ්වාසය ඊට හේතුවයි. තමුත් ලොව පුරා කොරෝනා වසංගතය පැතිරයාමත්  සමග නැවත එය බිද වැටිණි. එය ලෝකයටම පොදු තත්ත්වයක් බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා බිද වැටුණු සංචාරක කර්මාන්තය යලි නංවාලීම සදහා වත්මන් රජයට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය.