ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපනගේ දෙමාපියන් සම්බන්ධ නඩුවක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විස්තරයක් හුවමාරුවෙමින් පවතී. 'දික්කසාද නඩුවලදී නීති විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රසිද්ධ නඩුවක් වන මෙය ඔබත් කියවන්න' ලෙසන් දක්වා ෆේස් බුක්හි එය විස්තර කර ඇති මුත් වැඩිදුර සොයා බැලීමේදී එවැනි නඩුවක් ගැන ප්‍රසිද්ධියක් නොමැති බව හඳුනාගන්නට ලැබේ.
 " මාරපන එ. විජේකෝන් " නමින් නඩුවක් සොයාගත නොහැකි බව නීති ක්ෂෙත්‍රයට සම්බන්ධ පිරිස් කරුණු දක්වා තිබෙන අතර
එහි ඇති කරුණු සැකයට මෙන්ම ඇතැම් නෛතික කරුණුද නිවැරදි නොවන බවට අදහස් පළව තිබේ. දුලීකා මාරපන මහත්මිය පවා ප්‍රකාශ කර ඇත්තේ එකී නඩු තීන්දුව දිසා අධිකරණය හමුවේ විභාග වූ එකක් බැවින් නීති වාර්තා තුලට ඇතුලත් වී නොමැති එකක් බවයි.
ෆේස් බුක් පාඨක අවධානය දිනාගැනීමට අතිශොක්තියකින් යුතුව එම ලිපිය රචනා කර ඇති බව හදුනාගන්නට ලැබේ. කෙසේ වෙතත් මිනිසුන්ගේ අන්ධ විශ්වාස හා ඈඳුණ අපූරු කතාවක් ඒ තුළ තිබේ.
එහි උපුටනය පහත පරිදිය.

'එක්තරා පියෙකු විසින් තම බිරිදට ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවන්නට ඉඳිද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගෙන් නිමිත්තක් බලල තියනවා. ඒකෙදි කියල තියනවා ඉපදෙන්න ඉන්නෙ පිරිමි දරුවෙක් කියල. ඒත් නුවර මහ ඉස්පිරිතාලයේ දී පිරිමි නැකතකින් උප්පත්තිය ලබන්නේ ගැහැනු දරුවෙක් . ඉතින් මේ පියා විසින් ඔහු බලාපොරොත්තු වුණු පිරිමි දරුවෙක් නූපදීම බරපතළ ගැටලුවක් බවට පත් කර ගන්නවා.

එයාට නිමිත්ත බලපු මනුස්සය කියල තියෙන්නේ ගැහැනු දරුවෙක් ඉපදුණොත් පියා අනිවාර්යයෙන් ම මියයන බවත් සහ නැතිනම් දෙමව්පියන් විරසක වන බවටයි. ඉතින් ඇය ඉපදෙන විටම තම පියා විසින් මේ ගැහැනු දරුවා තම දියණිය ලෙස භාර අරගෙන නෑ.
ඒකත් එක්කම තම බිරිදට බලපෑම් කරන්නේ දරුවා අතහරින ලෙසය. වෙනකාට හරි හදාගන්න දෙන්න, පවුලෙන් ඈත් කරන්න වගේ දේවල්.

ඒත් මේ මව කිසිවිටෙකත් තම කුසින් වැදූ දරුවා ඇගෙන් වෙන් කරන්න දීලාත් නැති අතර ඇය ඒ ගැන සිතලවත් නෑ. ඉතින් මේ කිසිදෙයක් නොදන්න දරුවා අම්මට අවශ්‍යවීමත්, පියාට අනවශ්‍යවීමත් කියන කාරණාව උඩ දෙදෙනාට නීති මාර්ගයට යන්න සිද්ධ වනවා.
ඒ වන විට එම පියා විසින් මවගෙන් වෙන්ව ජීවත් වන අතර , ඇයට තර්ජනය කරන්නෙ දරුවා ජීවිතක්ෂයට පත් කරන බවයි. දරුවා අයින් කරන්න බැරිනම් ජීවිතක්ෂයට පත්කරන බව පුන පුනා කියූ නිසා මේ අම්මා දරුවාගේ පියාට විරුද්ධව උසාවි යනවා,

ඒ වනවිට රටේ තිබුණු පිළිගත් මතය තමයි පිරිමි දරුවා මවට, ගැහැනු දරුවා පියාට කියන නීතිය. නමුත් මේ නීතිය තිබියදීත් ඇය තම දරුවා වෙනුවෙන් සටන් කරනවා. අවසානයේදී යම්කිසි නීති පනත් විශ්ලේෂනයෙන් පසුව ඇය හට තම දියණිය තමන්ගේ තනි අයිතියට ගන්නවා.
ඒ අනුව ලංකාවේ නීති ප්‍රකාරව අධිකරණ ආඥාවක් අනුව අම්මෙකුට භාරදෙන පළවෙනිම ගැහැනු දරුවා වන්නේ මේ දරුවා.ඒ අනුව මේ දරුවා හට මවගේ වාසගම හිමිවෙනවා.
මේ දරුවා කවුද? ඇය තමා පියාගේ ආදරය නොලැබුනත් මුලු රටක් එකසේ ආදරය කරන අප රටේ අග්‍රගන්‍ය රංගන ශිල්පිණියක් වන දුලීකා මාරපන.'

ඊයේ (15) මෙම ලිපියට තම ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇති දුලීකා ඒ ගැන මෙලෙස දන්වා තිබේ.
'ඇත්තටම මේ සහෝදරයා මේ ලිපිය ලියන්නට ඇත්තේ මිනිසුන් ගේ අන්ධ විශ්වාසයන් නිසා ජීවිත විනාශ වන හැටි පෙන්වන්න වෙන්නැති.නමුත් වෙන වෙන පැති වලට ගමන් කරන බව පේනවා. මට දැන් අලුත් උප්පැන්නත් හදල තියෙන බවපේනවා.
වසර 1976. නුවර දිසා අධිකරණය . විනිසුරුතුමා අමීන්. නීතිඋපදේශක තුමා නිශ්ශංක විජේරත්න
මවට දරුවාගේ පූර්ණ අයිතිය හිමිවෙන්න හේතුකාරනා බොහෝම තිබුනා. තර්කයක් නෑ.
උඩරට කසාදයක් ......කච්චේරියෙ දික්කසාදය. පහසුයි.. '