සංගත රෝග තත්ත්වය පැතිරයාම හේතුවෙන් අසරණවී සිටින පවුල් වෙත රුපියල් 5000 , ගෙවීමේ
වැඩසටහනෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව
එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා
සමස්ත  ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කළේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙම වැඩසටහන දේශපාලනික මුහුණුවරක් ගැනීමට
උත්සාහ දරන බැවින් ග්‍රාම නිලධාරීන් මෙම මුදල් ලබා දීමේ වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කළ
බවද ඔවුහු පැවසුහ.

සෑමවිටම රටේ ආපදාවක් , සිදු වූ විට මූලිකත්වය ගෙන ක්‍රියා කරන ග්‍රාම නිලධාරීන් නොසලකා හැර
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා මෙම රුපියල් 5000 මුදල ගෙවීමට රජය තීරණය කර තිබීමත් ග්‍රාම
නිලධාරීන් ලබාදුන් නම් ලයිස්තු නොසලකාහැරීමත් මෙයට හේතුවී තිබේ.

සහනාධාර ලෙස රුපියල් 5000 ලබා දිය යුතු නම් ලයිස්තු ග්‍රාම නිලධාරීන් විසින් මුල් අවස්ථාවේදීම
ලබාදී ඇති අතර  එය නොසලකා හැර සමෘද්ධි සංවර්ධන නිලධාරී හරහා යළි  අයදුම්පත් කැඳවීමෙන්
මෙම මුදල් ලබා දීමට රජය තීරණය කර ඇති බවත් එය සම්පුර්ණයෙනම් දේශපාලනික ක්‍රියාවක්  වීමට යන
බවත් ග්‍රාම නිලධාරීන් චෝදනා කරයි.

 මේ සම්බන්ධයෙන් එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා සමස්ත  ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය
අමාත්‍යාංශ ලේකම්වරයාද දැනුවත් කර ඇති බව එම සංගම් සඳහන් කළේය.