දැනට බලපවත්වන ඇඳිරි නීතිය ඉවත්වීමේ කාල සීමා නිවේදන අනුව අද (24) සිකුරාදා රාත්‍රී 8 න් පසු සෙනසුරාදා හා ඉරිදා දෙදින ශ්‍රී ලංකාව පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.
නැවත සඳුදා (27) අවදානම් කලාප වලින් කොටසකට හා අවදානම් නොවන කලාපයට
ඇඳිරි නීතිය ලිහිල් කරන්නට නියමිතය.
පසුගිය සතියේ රජය ලබාදුන් නියමය අනුව 22 බදාදා ලිහිල් කරන්නට සූදානම්ව සිටි අවදානම් කලාප එනම්  කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක ඇඳිරි නීතිය 22වෙනුවට 27 සඳුදාට දීර්ඝ කරන ලදි.
 කෙසේ වෙතත් රජය නිකුත් කළ අවසන් නිවේදනය වනවිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට දිගටම බලපැවැත්වෙන ඇඳිරි නීතිය එලෙසම වෙනසක් නොකර තිබූ අතර
එම ප්‍රදේශ වූයේ

කොළඹ දිස්ත්‍රික්කයට අයත් : කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත,මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල
ගම්පහ දිස්ත්‍රික්කයට අයත්: ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,
පුත්තලම දිස්ත්‍රික්කයට අයත්: පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව
කළුතර දිස්ත්‍රික්කයට අයත් :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගමයි.

ඒවායේ ලිහිල් කිරීම සඳුදා (27) වනවිට කෙසේ වෙනස්වන්නේදැයි තවම පැහැදිලි කර නැත.

 එසේම ගතවූ දින කිහිපය තුළ පිළියන්දල, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ ගණනාවකින් කොරෝනා ආසාදිතයින් හමුවීම නිසා පෙර කී දිගටම ඇඳිරි නීතිය පනවා හුදෙකලා කිරීමට ලක්කරන ප්‍රදේශවලට අලුතින් ප්‍රදේශද ඇතුළත් විය හැකිය.

රජය මේ සම්බන්ධයෙන් හෙට (25) සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරනු ඇති අතර එම නිවේදනය අනුව අදාළ ප්‍රදේශවල කටයුතු ඇරඹීමට ජනතාවට සිදුවනු ඇත.