කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණ ඇතිව දිවයින පුරා පවනා ඇති ඇඳිරි නීති තත්වය නිසා කිසිවෙකුට තමන් දැන් නැවතී සිටින ස්ථාන වෙනස් කිරීමේ හැකියාවක් නැතැයි රජය අවධාරණය කර තිබේ. ඇඳිරි නීති විරාමය අතරවාරයේ පවා දිස්ත්‍රික් අතර මාරුවීමේ අවස්ථාව
තහනම් කර තිබේ.
අලුත් අවුරුදු සැමරීමට කියා දිස්ත්‍රික් අතර සංචාරය කළහොත් ඒ පුද්ගලයන් දින 14ක නිරෝධායනයට ලක්කරන බව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ පවසා සිටියේය.
කොළඹ ප්‍රදේශයේ සිරවී සිටින අය කළ යුතු හොඳම දේ, තමා සිටින ස්ථානවලම සිටීම බව පවසන
නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ඒ ඒ රාජකාරි මට්ටම් අනුව ගමන් කළ හැකි රියැදුරන් හා
අනෙක් පුද්ගලයන්ට පමණක් සිය ගමන් යා හැකි බවය.
අලුත් අවුරුදු සැමරීමට කියා ගමට කොරෝනා ගෙන යනවාද නැද්ද යන කාරණය කෙරෙහි සියලු දෙනා
තරයේ අවබෝධ කරගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

රැකියාවලට පැමිණ නැවත සිය ගම්බිම් කරා යෑමට නොහැකිව සිටින සියලුම දිස්ත්‍රික්කවල  සිරවී සිටින
පුද්ගලයන් මේ මස 20 වැනිදා තෙක් ඔවුන්ගේ ගම්බිම් කරා නොයැවීමට රජය තීරණය කර ඇති බව හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතාද පවසා තිබේ.
පසුගියදා ජනාධිපති, අගමැති, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් කොරෝනා වයිසරය පාලනය කිරීම පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
සිය ගම්බිම්වලට යෑමට නොහැකිව සියලුම දිස්ත්‍රික්කවල සිරවී සිටින පුද්ගලයන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය
ලබාදීමට රජය කටයුතු කරන බව පැවැසූ ඒ මහතා කියා සිටියේ එම පුද්ගලයන්ට යම් අපහසුතාවක් තිබේ
නම් ඒ පිළිබඳව අදාළ ප්‍රදේශයේ  ග්‍රාම නිලධාරිට දැනුම්දීමට කටයුතු කරන ලෙසයි.