කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට සත්වයෙකුට ආසාදනය වී ඇති බවට සැක මතු වී තිබෙනවා. ඒ අනුව ජාඇල ප්‍රදේශයේ සුනඛයෙකු පී සී ආර් පරීක්ෂණයට යොමු කර ඇත.
අද උදෑසන රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ මේ ගැන පළව ඇති පුවත්පත් වාර්තා සත්‍ය බවයි. මෙය සතුන්ගෙන්
සම්ප්‍රේෂණය වී තිබෙන රෝගයක්
බැවින් සතුන්ට ආසාදනයවීම විද්‍යානුකූලව පිළිගත හැකි බවද ඔහු පැහැදිලි කළේය. මෙම සැකය මත අදාළ සුනඛයා වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට තමාගෙන් විමසීමක් කළ බව ඔහු කීය.

කොරෝනා අවදානම් කලාපයක් වන ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ සැරිසැරූ දඩාවතේ යන මෙම සුනඛයාට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට වූ සැකයක් මත එම සුනඛයා PCR පරීක්ෂණයකට යොමු කර තිබෙන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත්ද කියා සිටියාය. සුනඛයාට අධික කැස්ස හා සැක කටයුතු රෝග ල්කෂණ තිබී ඇත.

පළමු වරට මෙවැනි සිද්ධියක් වාර්තා වී ඇත්තේ මාර්තු 5 දිනයි. එම වාර්තාවට අනුව හොංකොං රාජ්‍යයේ සුනඛයෙකුට කොරෝනා ආසාදනය වී තිබූ අතර එම සුනඛයා ඇති දැඩි කළ කාන්තාවට ද වෛරසය ආසාදනය වී තිබුණා. නමුත් පශුවෛද්‍යවරුන් සඳහන් කරන්නේ සතුන්ගෙන් මිනිස්සුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බවට මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි