ඉන්දියාව යනු ආසියානු කලාපයේ භූමි ප්‍රමාණයෙන් අතිවිශාල රටකි. මේ වනවිට කොවිඩ් 19 වෛරසය මෙම රටටද අතිශය දරුණු ලෙස බලපාමින් තිබේ. එයට හේතුව අද වන විට ඉන්දියාවේ සමස්ත රෝගීන් 21 393ක් හා  මරණ 681ක් ද වාර්තා වී තිබීමයි.




ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා තමන් පැනවූ අගුලු දැමීමේ දින වකවානු තවදුරටත්  දීර්ඝ කිරීම පසුගිය දිනක සිදු කරනු ලැබීය. ඒ  එරට දිනෙන් දින මෙම නව කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙනි. කෙසේවෙතත් පසුගිය පැය 24 තුළ නව රෝගීන් 1409 ක් හා මරණ 41 එරටින් වාර්තා වී තිබේ. එමෙන්ම ඉන්දියාවේ නව වෛරස ධනාත්මක රෝගීන් සංඛ්‍යාව එසේ 21,393ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය මේ වනවිට දැනුම් දී තිබේ.

එමෙන්ම ඔවුන් පවසන ආකාරයට තවමත් නව කොරෝනා වෛරස රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙනි. ඉන්දියාවේ ධනාත්මක රෝගීන්ගේ දරුණුතම බලපෑමට ලක්ව ඇති මෙම මහාරාෂ්ට ප්‍රාන්තය තුල කොවිඩ් 19 ධනාත්මක රෝගීන් 5652ක් වාර්තා වී තිබේ. එමෙන්ම එම ප්‍රාන්තය තුලින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 269 කි. කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රාන්ත අතර ඉහළම මරණ අනුපාතය පෙන්වන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තය බව ඉන්දීය බලධාරීන් පෙන්වා දෙයි.


මහාරාෂ්ඨ ප්‍රාන්තයට පසුව දිල්ලිය සහ ගුජරාටය ඊළඟට වැඩිම පීඩාවට පත් ප්‍රාන්තයන් දෙක ලෙස ඔවුන් නම් කර තිබේ. එම ප්‍රාන්ත දෙක තුළින් ද දිනෙන් දින වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ අගයක් ගනු ලබන බවත් එබැවින් එම ප්‍රාන්ත වල ජනතාවට මෙම නව කොරෝනා වෛරසයේ දැඩි බලපෑම් අත්විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාවට තමන්ගේ ආරක්ෂාව සපයා ගන්නා ලෙසද අනතුරු අඟවමිනි.

කෙසේ වුවත් ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේද මෙම කොවිඩ් 19 වෛරස වසංගතයෙන් ආරක්ෂාවීමට නම් ජනතාවද ඉතා ආරක්ෂාකාරීව තම ජීවන කටයුතු පවත්වා ගත යුතු බවත් රජය ගන්නා පියවරයන් නිසි පරිදි අනුගමනය කළ යුතු බවත්ය. එසේ සෞඛ්‍ය පියවරයන් අනුගමනය කරමින් තමන් ගැන මෙන්ම අන්‍යයන් ගැනද සිතා බලමින් නිවැරදිව ක්‍රියා කළහොත් ඉතා ඉක්මනින් මෙම වෛරසයෙන් ආරක්ෂා වී රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තුවේ.

- රිෂ්මි ඉෂාරා -