ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකදී විශේෂ තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ විසින් මෙම පර්යේෂක කණ්ඩායම මෙහෙයවා ඇති අතර
එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට අනුයුක්ත වෛද්‍ය චන්දිමා ජීවන්දර හා අනෙකුත් පර්යේෂණ විද්‍යාඥයින් ඒ සඳහා සහය වී තිබෙයි.

අප්‍රේල් 23 දින මේ සම්බන්ධයෙන් තොරතුරු
ඉදිරිපත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බවයි. ඔවුන්  සිදුකළ කොවිඩ්-19 වෛරසයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණය කිරීමකදී මේ බව අනාවරණය කර ගෙන ඇතැයි දන්වා ඇත.
මේ සඳහා ශ්‍රී ලංකාවෙන් හමුවූ ආසාධිතයින්ගෙන් ලබා ගත් සාම්පල් යොදා ගෙන තිබෙන බව පවසා ඇත.

ඕනෑම වෛරසයකට අදාළව එම වෛරසයක සම්පූර්ණ ජානමය අනුක්‍රමණය ශ්‍රී ලංකාවේ දී සිදු කළ පළමු අවස්ථාව මෙය බවද ඔවුන් සඳහන් කර ඇත. මීට පෙර එවැනි අවශ්‍යතාවයක් ඇති වූ විට සිදු කර ඇත්තේ අදාළ සාම්පල විදේශ රටවලට යවා අදාළ වාර්තා ලබා ගැනීම පමණි.
වෛරසයේ ප්‍රභේද කිහිපයක් ලොවපුරා සංසරණය වන බවත් ලංකාවේ පවතින 04 අධ්‍යයනය තුළින් ඉදිරියේදී එය වළක්වා ගැනීමට හා ආරක්ෂාවීමට වෙන වෙනම ක්‍රම අනුගමනය කරන්නට සිදුවනු ඇති බවද දක්වා ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ සමස්ත ජානමය අනුක්‍රමණයන් පරික්ෂා කිරීම ආරම්භ කර ඇති අතර ඒ් ඔස්සේ වෛරසයේ ඉදිරි ව්‍යාප්තිය ගැන තවදුරටත් කරුනු අනාවරණය කරගතහැකි බව ඔවුන් පවසා තිබේ.