තාලියේ සිට පැමිණි ඥාතින් සමග එකට සිටි බව හිතාමතාම සඟවා පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 15 දෙනෙක්
ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ බවත් සේවකයින්ගේ සේවය නොලැබීම නිසා රෝහල පවත්වායාමේ ගැටලු මතුව ඇති බවත් රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කර සිටියි.


ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට ඇතුල්වී ඇත.

මෙහිදී එම රෝගියා තමන් ගේ රෝගය සම්බන්ධයෙන් මුලින් කළ වෛද්‍ය විමසීම් වලදී රෝගයට ඉතාලි සම්බන්ධයක් ඇති බවක් සගවා ඇති අතර ජා ඇල ප්‍රදේහයේ එවැනි අය සිටින නිසා එවැන්නක් ඇතිදැයි ඇසූවිට එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත. ඔහුගේ ඥාතීන් පිරිසක් ඉතාලියේ සිට පැමිණි ඥාතීන් පිරිසක් සමඟ සාදයක් පවත්වා ඇති බවත් මොහුද එහිදී ඔවුන් සමග බොහොම ළඟ ඇසුරක් පවත්වා ඇති බවත් හිතාමතාම වසන් කර ඇත.

රෝහලේ 15 වන වාට්ටුවට ඇතුලත් කර තිබු එම රෝගියා ඉන් දින දෙකකට පමණ පසු කැස්ස සහ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව වෛද්‍යවරුන් ඔහුගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිතී නැවත දිගින් දිගටම සිදුකළ විමසීමේදී තමන් ඉතාලියේ සිට මෑතකදී ලංකාවට පැමිණි අය සමග සමීප සම්බන්ධය පැවැත්වූ අයුරු හෙළිකර ඇත.

ඒ සමගම වෛද්‍යවරුන් එම රෝගියාගේ සාම්පල් කොරෝනා පරික්‌ෂණය සඳහා යොමු කොට ඇති අතර එම වාර්තා අනුව ඔහුට වෛරසය වැළදී ඇති බව ඊයේ තහවුරු වී තිබේ.

මෙම රෝගියා දින දෙකක් රෝහල තුල නේවාසිකව සිට ඇති අතර එම කාලය තුලදී රෝහල තුල ඇවිදමින් වීවීධ පුද්ගලයින් සමග කතා කරමින් සිට ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.


මෙලෙස කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයාට ප්‍රතිකාර සිදුකළ සහ ඔහුට උපස්ථාන කළ රෝහල් සේවකයින් ඇතුළු 15 දෙනෙක් මේ වන විට ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

"මේ රෝගීයා කොහේ කොහේ ඇවිද්දද කාත් එක්ක ඇසුරු කළාද කියා අපි සොයමින් ඉන්නවා. අඩුම වශයෙන් මේ රෝගියාගේ  ඉතාලි සම්බන්ධය කිව්ව නම් අපි ඔහුව අනෙක් රෝගීන් ගෙන් වෙන් කරනවා. ඔහු ඇතුලත් කරලා තිබුනේ සාමාන්‍ය වාට්ටුවකට. මේ රෝගියා අඩුම වශයෙන් රෝහල් ගත වුනාට පස්සේ හරි අපිට කිව්ව නම් අපි අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා. නමුත් ඔහුගේ ආත්මාර්ථකාමී ක්‍රියාව නිසා අද රෝහල් කාර්ය මණ්ඩලය විතරක් නෙමෙයි ප්‍රතිකාර ගන්න ආපුගොඩක් දෙනෙක් වෛරසයට ලක්වීමේ අවධානමට ලක් වෙලා. සේවකයින් නිරෝධායනය කළ නිසා අපට අනෙක් ලෙඩුන්ට ප්‍රතිකාර කරන්නත් ගැටලු ඇවිත්" රෝහල් අධ්‍යක්ෂක ෂෙල්ටන් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.

රාගම ‌රෝහලේ  ප්‍රතිකාර ගනීමින් සිටි කෙරෝනා  රෝගියා ව්‍යාජ ලෙස තමන්ගේ රෝගය වසන් කිරිම සම්බන්ධයෙන් ඉදිරියේදි ඔහුට එරෙහිව  දැඩිව  නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද අද පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වත්තල අධිකරණය මගින් ඔහුට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.