“පුතා උසස් පෙළ විභාගයට සූදානම් වෙන අතර දී මගේ බිරිය අවසන් ගමන් ගියා. පුතා විභාගයට ගියේ අම්මාගේ හත් දොහේ දානයත් දීලා. නොමනා අන්දමින් හැසිරුණු ජ්‍යෙෂ්ඨයන් යැයි කියා ගන්නා නරුමයින් පිරිසකගේ නොහොබිනා ක්‍රියාවක් නිසා අද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා' තම පුතුගේ දිවි බේරා ගැනීමට ඉක්මන් පියවරක් ගන්නා ලෙසත්
මරණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවන ලෙසත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී නවකවදයට ගොදුරුවූ නවක සිසුවාගේ පියා ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් බැගෑපත්ව ඉල්ලා සිටී.


කළමනාකරණ පීඨයේ නවක සිසුවකු වූ මිනුවන්ගොඩ, කමරාගොඩ අක 261 බී නිවසේ පදිංචි ජේ.ඒ. පසිදු හිරුෂාන් 21 තරුණයා මෙම සිදුවීමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පසිදු ජේ.ඒ. ඔගස්ටින් සිල්වා මහතාගේ හා නැසීගිය ටෙක්ලා පීරිස් මහත්මියගේ බාලදරුවාය. ඔහුට ලක්මාල් සිල්වා හා ශර්මිලා සිල්වා යනුවෙන් සොයුරෙක් හා සොයුරියක්ද වෙති. විශ්වවිද්‍යාලයේ නවක වදය හමාර කරමින් පසුගිය 5 වැනිදා රාත්‍රියේ ක්‍රීඩා මණ්ඩපයේ පැවති සාදයේ අවසාන භාගයේ පසුගිය 6 වැනිදා අලුයම පසිඳු ක්‍රීඩා මණ්ඩපයේ ඉහල මාලයේ සිට පඩිපෙළ බසිමින් සිටින අවස්ථාවේදී ඉහළින් තල්ලුකර දැමු විශාල ටයරයක ගැටී ඇද වැටී හිසට බරපතළ තුවාල සිදුව සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු දිවි ගෙවන්නේ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙනි.

ඒ අවස්ථාවේ ඉහළ මාලයේ මධුවිතෙත් සන්තර්පනය වෙමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් මේ අපරාධය කළ බව හෙලිවී ඇතැයි පියා සඳහන් කළේය. තම පුතුට සිදුවූ අපරාධය පිළිබඳව කරුණු දැක්වූ ඔගස්ටින් සිල්වා මහතා මෙසේද කීය.

මගේ පුතා ඉගෙනගත්තේ උඩුගම්පොල ශාන්ත පීතර විදුහලේයි. මම එදිනෙදා ගොවිතැන්බත් කරලා දරුවන්ට ඉගැන්වූවා. පුතා සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වුණා. උසස්පෙල වාණිජ විෂය ධාරාව හැදෑරූ මගේ පුතා ඒ සාමාර්ථ තුනක් ඇතිව සමත්වුණා. පාසලෙන්ම ඒ සාමාර්ථ තුනක් ගත්තේ පුතාත් පුතාගේ මිතුරාත් විතරයි. ඒ දවස්වල ඉඳලාම පුතා උපකාරක පන්ති පැවැත්වුවා. පුතාට හොඳට උගන්වන්න හැකියාව තිබුණා. පුතා ඒ ගැන කා අතරත් ප්‍රසිද්ධ වුණා.

ඒ පීඩනයත් එක්ක මගේ පුතා ඉහළින් සමත් වුණා. මට ඒක ආඩම්බරයක්. 2019 දෙසැම්බර්වලදී පුතා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. පුතා මිතුරන් සමග නවාතැනකට වී ඉගෙනුම් කටයුතු කළා. හැම සති අන්තයකම ගෙදර එනවා. ගිය සතියට කලින් සිකුරාදත් ඇවිල්ලා ඉරිදා ගියා. සිකුරාදා එනවා කිව්වා. පුතා ගෙදර එනවා කිව් දා උදේම පුතාගේ මිතුරාගේ අම්මත් තාත්තත් ඇවිත් මේ වින්නැහිය ගැන කිව්වා. අපට මොනවා උනාද කියලා මට හිතා ගන්නත් බැහැ.

මගේ පුතා කිසිදා කාටවත් කරදරයක් හිරිහැරයක් කරපු කෙනෙක් නොවෙයි. මම අනෙක් පුතා එක්ක ගිහින් බැලුවා. ඒ වනවිටත් පුතාට ශල්‍යකර්මයක් කර තිබුණා. සාදය අවසන් වෙන වෙලාව නිසා පුතාගේ මිතුරා බෝඩිමට යන්න කතා කරද්දී එයා එක්ක දුරකතනයෙන් කතා කරමින් පඩි පෙළ බහිද්දී මේ අපරාධය කර ඇති බව දැනගන්න ලැබුණා. මොන හිතකින් මේ අපරාධය කළාද කියා මට නම් තේරෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ බලධාරීන් කිව්වේ හැම වසරකම අවසර දෙන නිසා මේ සාදයට අවසර දුන්නා කියලයි.

ටයර් දාලා තියෙන කාමරයක් තිබුණත් ඒවා එලියේ දාලා තිබී ඇති බවත් එහිදී දැනගන්න ලැබුණා. ඒවා නියමිත විදියට කර තිබුණා නම් මගේ පුතාට මේ වින්නැහිය වෙන්නේ නැහැ. පාලකයින් ඇඟ බේරාගෙන රස්සාව බේරාගෙන ඉන්න හදන බව මට පේනවා. සිසුන් අරක්කු ගෙනැවිත් ඇත්තේ හොරෙන් බවත්, පාලකයින්ගෙන් මම අහද්දී දැනගන්න ලැබුණා. හොරෙන් වැඩ කරන්න පුළුවන් නම් පාලකයෝ මොකටද?

දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. මොන ලෝකෙකට ගෙනිහින් හරි මගේ පුතා සනීප කරලා දෙන්න. ඒ සඳහා මට උපකාර කරන්න කියා ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් මම ඉල්ලනවා. මේ වනවිට පසිඳු සිව්වැනි දිනටත් දිවි ගෙවාගෙන යන්නේ මැෂින්වල පිහිටෙනි. ඒවා ඉවත් කළ දිනට පුතුගේ අනාගතය ගැන තීරණයක් ගැනීමට සිදුවන නිසා ඊට පෙර තම ඉල්ලීමට ඇහුම්කන් දෙන ලෙසත් තම පුතුට මේ අපරාධය කරන්නට දායක වූ සියලු දෙනාට නීතිය ක්‍රියාවේ යොදවන ලෙසත් ඔගස්ටින් මහතා රජයෙන් ඉල්ලා සිටියේ ය. මේ වනතුරු තම පැමිණිලි සම්බන්ධයෙන් නිසි පියවරක් ගෙන නැති බවද ඔහු සඳහන් කළේ වේදනාවෙනි. නවක වදයේ උච්චස්ථානය ගැන පියකු තම හදවතේ වේදනාව පිට කළේ එසේය.

අනතුරට ලක් වූ පසිඳු හිරුෂාන්ගේ වැඩිමහල් සොයුරු ලක්ෂාන් සිල්වා මහතා තම මල්ලී පිළිබඳව මෙසේ කීය.


"මල්ලිගේ ජීවිතය ගැන හරියට වචනයක් කියන්න බැහැ කියලා වෛද්‍යවරුන් කියනවා. එයාගෙ ජීවිතය බේරල නැවත ගන්න පුළුවන් තත්වයට ඔහුව පත් කරන ලෙස මම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මල්ලි ඕලෙවල් ලියන්න ඉද්දි අපේ අම්මා පිළිකාවක් හැදිල නැති වුණා. වයස නිසා තාත්තට රස්සාවක් කරන්න බැහැ. තාත්තා ගෙදර ඉන්නෙ. අපේ අක්කා නීතිඥවරියක්. මම මීගමුව අධ්‍යාපන කලාප කාර්යාලයේ රැකියාවක් කරනවා. අක්කයි මමයි මල්ලිගේ අධ්‍යාපන වැඩවලට උදව් කරනවා.

මල්ලි ඉගෙන ගන්න දක්‍ෂයි. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් උසස් අධාපාපනය හැදෑරු එයා ඒ තුනක් අරගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට තේරුණා. පසුගිය
ඔක්තෝබර් මාසයේ එයාගේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. ඉකුත් 5 වැනිදා විශ්ව විද්‍යාලයේ රැග් සීසන් එක ඉවරවෙලා පැවැත්වෙන කැම්පස් භාෂාවෙන් "ෂෝෂල්" එක කියලා හඳුන්වන සාදයට එයා ගියා.

මල්ලි මේ සාදයට සහභාගි වී තිබෙනවා. ඉකුත් 5 වැනිදා ඔහු ක්‍රීඩා කටයුත්තක නිරතවීමෙන් පසු රාත්‍රී 9ට පමණ මෙම සාදයට සහභාගි වී තිබෙනවා. එදින පාන්දර 1.30 වන තෙක් ඔහු එහි රැඳී සිට නිදිමත හැදුණු නිසා බෝඩිමට යමු යැයි මිතුරෙකුට පවසා පිටත්වීමට හදද්දී වතුර ටිකක් බී එන්නම් කියා පැවිලියන් එකේ උඩ පැත්තට ගිහින් තියෙනවා. වතුර ටිකක් ඉල්ලද්දී සීනියස්ලා ඔහුට වතුර දීලා තිබෙනවා. එතනදී මල්ලි හා මේ අය අතර ඇති වූ කතාබහ පිළිබඳ කවුරුවත් දන්නේ නැහැ.

මේ සාදයට ආපු හුඟ දෙනෙක් මත්පැන් බී විනෝද වෙමින් නට නටා ගීත ගායනා කර ඇති බව මට දැනගැනීමට ලැබුණා. සාදයේද මත්පැන් තිබී තිබෙනවා. එහෙම බීපු පිරිසක් තමයි මල්ලිට වතුර දී තිබෙන්නේ. රැග් සීසන් එකෙන් පසුව පැවැත්වෙන මේ ෂෝෂල් එකට පැරණි ශිෂ්‍යයන් මෙම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් සහභාගි වී තිබෙනවා.

වතුර බීපු තැන සිදුවුණු කතාබහ ගැන කවුරුවත් දන්නේ නැහැ. මල්ලි එතනින් එද්දි එතැන හිටපු අය ව්‍යායාම්වලට යොදාගන්න ජේ.සී.බී. ගල් ටයර් එකක් වතුර බීපු තැන හිටපු කට්ටියගෙන් පිරිසක් පහලට තල්ලු කරලා. මල්ලිගෙ දිහාවට ඒක එද්දී කට්ටිය කෑ ගහල ඔන්න ටයර් එක ඔයාගෙ දිහාවට එනවා කියලා තියෙනවා. කෑගැහිල්ල ඇහුණ මල්ලි ඒ දිහා බලද්දීම වගේ ටයර් එක එයාගෙ ඇගේ හැපිල එයා වැටිලා තියෙනවා.

මේ අනතුර සිදුවුණ තැනට දුවල ආව මල්ලිගෙ මිතුරයි තව සීනියස්ලා දෙන්නෙකුයි එකතුවෙලා කැම්පස් එකේ ඇම්බියුලන්ස් එකේ ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කරලා. ඔළුවේ කිසිඳු තුවාලයක් නැතුව නහයෙන් හා කටින් ලේ එන නිසා කළුබෝවිල රෝහලේ අනතුරු ඒකකයට ඇතුළත් කරලා තියෙනවා.

මල්ලිගෙ කුඩා මොළය කුඩුවෙලා මොළයට ලේ බැහැල කියල කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු පවසනවා. මල්ලිව චෙක් කරද්දී ඔහුගේ ඇගේ ඇල්කොහොල් නැති බව ඔප්පු වුණාට පස්සේ වෙද්‍යවරු මොළයට සැත්කමක් කරලා තියෙනවා. ඊට පස්සේ එයාගේ ශරීරය මැෂින් එකකට සම්බන්ධ කරල මේ වන විට කෘත්‍රීම ස්වසනය ලබාදෙමින් සිටිනවා. මල්ලිට පැය හතරක සැත්කමක් කළත් ඔහුගේ ජීවිතය ගැන නිශ්චිතව කියන්න බැහැ කියල වෙද්‍යවරුන් පවසනවා. අනේ කොහොම හරි එයාව හොඳ කරල නැවත ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයට පත් කර දෙන ලෙස මම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.