දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවතින අධික උණුසුමට අප්‍රේල් මුල් සතියේ සිට තවත් වැඩිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ඊයේ (9) පැවැසිය. ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම අප්‍රේල් 5 වැනිඳා සිට 15 වැනිදා දක්වා සිදුවන බැවින් එම කාලයේදි
උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.  මෙම උණුසුම මැයි මස මුල දක්වාම පවතිනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. මෙම අවසාන සතියේදී අන්තර් මෝසම සක්‍රීය වී දිවයින් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවන නමුත් එම කාලයේදීත් දහවල් කාලයේ දැඩි උණුසුමක් පවතිනු ඇතැයි මෙරිල් මෙන්ඩිස් මහතා කීවේය. මේ අතර අද වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් අද (10) දෑඩි උණුසුමක් පවතිනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවල පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල අද (10) දිනයේදී වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි ද ඔහු පැවැසිය.
මේ අතර වැඩිවන උණුසුමට මුහුණ දීම සඳහා අනුගමනය කළ යුතු දේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වේද්‍ය සේවා අමාත්‍යාංශය විටින් විට අවාදාත්මක නිවේදන නිකුත් කරමින් ජනතාව දැනුවත් කිරිම සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි. විශේෂයෙන් ළදරුවන්, අවුරුදු 4ට අඩු ළමයින්, අවුරුදු 65ට වැඩි වයස්ගත පුද්ගලයින්, තරබාරු පුද්ගලයන්, අධික ලෙස කය වෙහෙසවන අය සහ රෝගී පුද්ගලයින් මෙම තත්වයෙන් ආරක්‍ෂ විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ .

අධික උණුසුම් කාලගුණයෙන් විය හැකි අයහපත් ශාරිරික බලපෑම් අවම කරගැනීමට ගත හැකි ප්‍රධානම පියවර වන්නේ ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම වන අතර කය වෙහෙසවන අවස්ථාවලදී පැයකට ජලය වීදුරු 2ත් 4ත් අතර ප්‍රමාණයක් ගැනීම සුදුසු බව ද එහී සඳහන්ය. හැකි සෑම විටම ගෘහස්ථව හෝ සෙවණ සහිත ස්ථානවල රැඳී සිටීම, වායුසමීකරණ හෝ විදුලි පංකා භාවිතය, සිසිල් ජලයෙන් ස්නානය කිරිම හෝ ඇග
සේදීම, ළා පැහැති, කපු රෙදිවලින් මැසූ සැහැල්ලු ඇඳුම් ඇඳීම, තොප්පියක් පැළඳීම හා කුඩයක් භාවිතය

ආදී පියවර අනුගමනය කළ යුතු බව ද එම නිවේදනයේ දැක්වේ. මෙවැනි කාලගුණ තත්ත්වයකදී උණුසුම් ආහාර හෝ දියර, විශේෂයෙන් උණු ත් ගැනීමෙත් වැළකී සිටිය යුතු බවත්, මනා වාතාශ්‍රයක් නොමැති ස්ථානවලට නොසිටිය යුතු අතර මධ්‍යසාර, අධික සීතල හෝ පැණි රස බිම පානය ඉතා අහිතකර බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. හිරු රශ්මියට සම රතු වීම, කැසීම වැනි තත්වයන් ඇති විය හැකි අතර හිරු එළියෙන් සම ආරක්ෂා කරන ක්‍රීම් භාවිතය, සම සිසිල්වා තබා ගැනීම මගින් ඒවායින් වැළකිය හැකි අතර හිරු රශ්මිය නිසා දරුවාගේ පිළිස්සුම් තුවාල ඇතිවුවහොත් සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට පෙන්විය යුතු බව ද එහි දැක්වේ .

මස්පිඩු පෙරලීම් ඇතිවිය හැකි අතර එවැනි අවස්ථාවලදී ලවණ සහ සීනි සහිත දියර බීම සහ විවේකීව සිටීම කළ යුතු අතර පැයක් ඇතුළත යථා තත්තවයට පත්නොවේ නම්, වෛද්‍යවරයකු වෙත යා යුතු බව ද අමාතව්‍යංශය සඳහන් කරයි. මේ අතර ඊයේ (9) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 35.8ක උෂ්ණත්වයක් මත්තල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර මාතර බෙරලපනාතර ප්‍රදේශයෙන් මිලි මීටර් 28ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

-ඩයනා උදයංගනී-