ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 10 දෙනෙකු වාර්තා කළ පසුව පසුගිය සෙනසුරාදා රජය දන්වා සිටියේ 16 සදුදා රජයේ,බැංකු හා වෙළඳ නිවාඩුවක් කරන බවයි. ඒ සමග ජනතාව තුළ සෞඛ්‍ය ආරක්ෂාව හා පොදු ස්ථානවල ගමන් කිරීම සම්බන්ධ සැකසංකා මතුව තිබුණි. කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ සවස වන විට සෙනසුරාදා උදේ ගණන මෙන් දෙගුණයක් වූ අතර
රෝගීන් 21 ක් බව නිවේදනය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එම ආරංචිය අසා තැතිගත් ජනතාව අපේක්ෂා නොකළ පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා දන්වා සිටියේ 16 සදුදා ලබාදුන් නිවාඩුව දීර්ඝ කිරීමට අදහසක් නැති බවත් රටේ වැඩකටයුතු නතර කිරීමට අදහසක් නැති බවත්ය. එය දේශපාලන තීරණයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුනේ ඔහු ඊට එකතු කළ කරුණුද විමසීමේදීය.
රජයේ නිවාඩු දිනයක නාමයෝජනා භාරගැනීම කළ නොහැකි බව මැතිවරණ පනතේ ඇති බවද ඔහු එහිදී හේතු දැක්වීය.

මහමැතිවරණයේ නාමයෝජනා කටයුතුද මග නොහැර සිදු කළ යුතු නිසා නිවාඩුව දීර්ඝ නොකරන බව ඔහු එහිදී කියා සිටියේය.  සදුදාට එක් දිනක් පමණක් නිවාඩුව දුන්නේ ජනතාවට මෙම අන්තරාදායක තත්වය ගැන අවබෝධයක් ලබාගැනීමට පමණක් බවද ඔහු කියා සිටියේය.


ඊට පැය කිහිපයකට පෙර සෞඛ්‍ය අංශ නියෝජනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සති දෙකක් නිවාඩු දී සියලු තත්වයන් සමනය කරන ලෙස කල ඉල්ලීමට කන්දුන් ස්වරූපයක් රජය නියෝජනය කරන අයට තිබුනේ නැත. මෙම තීරණය සමග ජනතාවට ආරක්ෂාව සම්බන්ධයෙන් සැකසංකා මතුවූ අයුරු ඊට පසු සමාජ ජාලා වල පළවූ පෝස්ටු වලින් දිස්විය. ලංකාව අගුළු දැමිය යුතු බවටද රැල්ලක්ද මතුවිය.

කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පැය 8 ක් පමණ ගතවීමෙන් පසු රජය විසින්ම නැවත දන්වා සිටියේ දින 3 ක් නිවාඩුවක් ලබාදෙන බවයි. එම දැනුම් දීම රෑ 12 ට පමණ සිදු කළේ එල්ලවූ ජනතා විරෝධයට පිළිතුරක් ලෙස විය හැකිය. අගහරුවාදා දිනයේ වැඩට එන්නට සිතා ජනතාව නිදාගෙන සිටි අවස්ථාවක මෙම නිවේදනය නිකුත්වීමද වගකීම පිලිබද ගැටලු මතු කළේය. ලංකාවේ ඇතැමුන් රාජකාරී සඳහා පිටත්වන්නේ කලින් දිනයේ බෝඩිමට ගොසිනි. නැතිනම් පාන්දරින්ම බස් රථයකට නගිමිනි.  රජයේ නිවාඩුව ලබාදීම අගය කළ යුතු වුවත් එන එන විදිහට තීරණ ගැනීම ගැටලු මතුකරන්නක් විය..

කෙසේ වෙතත් මෙම රජයේ නිවාඩු ලබාදීමද මින් පෙර කිසි කලෙක ලබාදුන් ආකාරයේ නිවාඩුවක් නොවේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැක්වූ සටහනේ මෙම නිවාඩු දින 3 ප්‍රසිද්ධ නිවාඩු (public holidays) ලෙස නොසැලකිය යුතුය යනුවෙන් වාක්‍යයක් වෙනම දන්වා ඇත. අත්‍යවශ්‍ය සේවා නොවන්නාවූ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිසා ලේකම් කාර්යාලවලට මෙම නිවාඩුව නැත.

ප්‍රසිද්ධ නිවාඩුවක් වී නම් මැතිවරණ නාමයෝජනා කාර්යයට ගැටලු මතුකිරීම එයට හේතුවූවා විය හැකිය.

රජය විසින් අද (17) සිට ලබන 20 වැනිදා දක්වා නම්කර ඇති විශේෂ නිවාඩු දිනයන්හිදී පවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවෘත කර තැබීමට තීන්දුකර ඇත්තේ නාමයෝජනා පත්‍ර භාරගෙන කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට යැයි මේවන විට ආණ්ඩුවට චෝදනාවක් එල්ලවී තිබේ.

සියලු රෝග බිය මැද්දේ මහමැතිවරණය පැවැත්විය යුතුද යන්න ගැන දැන් විශාල සාකච්ඡාවක් මතුකර ඇත.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය වනතෙක් මහමැතිවරණය පැවැත්වෙන දිනය කල් දමා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසටද මේ වන විට ඉල්ලීම් මතුව ඇත.

පහත දැක්වෙන්නේ නිවාඩුව තවදුරටත් දීර්ඝ නොකරන බව පවසමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි ඊට දැක්වූ හේතූන්ය.