රැකියා ස්ථානයේදී කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර තිබේ.
ඒ අනුව රැකියා ස්ථානය කොරෝනා වයිරසයෙන් ආරක්ෂිතව තබා ගැනීමට පහත පියවර අනුගමනය කළ යුතුය.

1. යම් කෙනෙක් උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ සුළුවෙන් හෝ පෙන්වන්නේ නම් ඔහුට රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙන තෙක් රැකියාවට නොපැමිණ සිටීමට උපදෙස් දෙන්න. හැකිනම් නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් ලබා දෙන්න.

2. නිතර ස්පර්ශ වන පෘෂ්ඨ හා ආම්පන්නවල වයිරසය රැඳී තිබිය හැකි බැවින් දොර හැඩල, දුරකථන රිසීවර, මේස මතුපිට, තරප්පුපෙළ අත්වැට ආදී දේ විසබීජ නාශක දියර යොදා නිතර පිරිසිදු කිරීමට සලස්වන්න.

3. හැකි සෑම අවස්ථාවකම සබන් යොදා හොඳින් අත් සෝදා ගන්න. අනවශ්‍ය ලෙස මුහුණ, කට, නාසය, ඇස් ස්පර්ශ කිරීමෙන් වළකින්න. මෙම වයිරසය බහුලවම පැතිරයන්නේ ස්පර්ශය මගිනි. තමන් හා සේවය කරන අන් අයට ද මෙය නිතර සිහි කැඳවන්න.

4. අනවශ්‍ය ලෙස සෙනඟ එක් රැස් කිරීම් හැකිතාක් අවම කරන්න. කල් දැමිය හැකි රැස්වීම් කල් දමන අතර වීඩියෝ සංවාද, කණ්ඩායන් දුරකතන ඇමතුම් (video conferencing / group calling ) වැනි නූතන සන්නිවේදන ක්‍රමවේදයන් වෙත හැකිතාක් යොමුවන්න.