දෙමළ සන්ධාන ඡන්ද මෙහෙයුම සඳහා නැගෙනහිර පළාතට බ්‍රිතාන්‍යයේ සිට එවා ඇති දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයකු​ටත් කොවිඩ් - 19 වෛරසය වැලඳී ඇතැයි
අනාවරණය වේ.


මඩකලපුව රෝහලේදී පෙරේදා (17 වැනිදා) පස්වරුවේ මේ බව අනාවරණය වී ඇත.

ඒ අනුව නැගෙනහිර පළාතේ ඔහු සමග ඡන්ද මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු දිස්ත්‍රික් ලේකම්වරයකු ඇතුළු ආධාරකරුවන්ට නිවෙස්වල සිටම ස්වයං නිරෝධායනයට ලක් වන්නැයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම් මගින් ඊයේ (18 වැනිදා) දැනුම් දීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්හ.

පසුගිය සිකුරාදා (13 වැනිදා) බ්‍රිතාන්‍යයේ සිට පැමිණ ඇති කේ. රාජදුරේ නමැති හැට එක් හැවිරිදි මෙම දෙමළ ඩයස්පෝරා නියෝජිතයා මෙරට උපන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයකු බව හෙළි වී ඇත.

මෙවර මහ මැතිවරණයට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් දෙමළ සන්ධනාය ඉදිරිපත් කරන මඩකලපු හිටපු දිස්ත්‍රික් ලේකම් උදය කුමාරගේ ඡන්ද සටන සඳහා ඔහු බ්‍රිතාන්‍යයේ සිට මෙලෙස පැමිණ තිබේ. පසුගිය දිනවල ඔහු මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වී ඇතැයිද හෙළි කර ගෙන ඇත. නැගෙනහිර නිරෝධායන මධ්‍යස්ථාන ඇරඹීමට විරෝධය පා මඩකලපුවේ හර්තාල් ව්‍යාපාර හා මඩකලපුව රෝහල ඉදිරිපිට විරෝධතා පවත්වා ඇත්තේද දෙමළ සන්ධානයේ මෙම පිරිස්වල මූලිකත්වයෙන් බවද හෙළි වී තිබේ.

මෙම ඩයස්පෝරා නියෝජිතයා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙද්දී කොවිඩ් - 19 වෛරසය වැලඳී තිබෙන්නට ඇතැයි සෞඛ්‍ය බලධාරීන් සැක පහල කර ඇත. නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටතදී නැගෙනහිර පළාතෙන් හමු වූ පළමුවැනි ආසාධිතයා මොහු බවට පැවසේ.


මඩකලපුව රෝහලේදී අසාදිත බව අනාවරණය වූ පසු මෙම පුද්ගලයා පෙරේදා (18 වැනිදා) රාත්‍රියේම කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා ඇත.

මෙම පුද්ගලයා පදිංචිව සිටි මඩකලපුව, වන්නියාස් පාරේ අංක 13 නිවසේ සිටි අය හා දෙමළ සන්ධාන මන්ත්‍රීන් හා ආධාරකරුවන් සොයා නිරෝධායනය කරන මෙහෙයුමක් ඊයෙ (18 වැනිදා) ඇරඹී තිබිණි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා