ඉතාලිය ඇතුළු වෙනත් රටවල්වලින් මෙරටට පැමිණ සෘජුවම තමන්ගේ ගම් බිම් බලා පැමිණි පුද්ගලයන් 1301ක් පෙරේදා (17 වැනිදා) වනවිට පුත්තලම දිස්ත්‍රක්​කයේ සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි
බණ්ඩාර විසින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත යැවු ලිපියක සඳහන් වේ.

මාර්තු 01 වැනිදායින් පසුව විදේශ රටවල්වල සිට මෙරටට පැමිණි පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමේ මෙහෙයුමක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇත. එම වැඩසටහනේ දී නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානවලට නොගොස් සෘජුවම තමන්ගේ නිවෙස්වලට පැමිණි පිරිස් සොයා ගැනීමට හැකි වී ඇත.

එසේ පැමිණි පිරිසෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම පිරිස 295කි. මීට අමතරව 160දෙනකු හලාවත, 135දෙනකු මහවැව, 85දෙනකු දංකොටුව සහ 143දෙනකු නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල සිටින බවට එහි දී අනාවරණය වී ඇත.

තවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලෙස ගත් විට කල්පිටිය 58 දෙනකු, මාදම්පෙ 107දෙනකු, ආණමඩුව 23දෙනකු, කරුවලගස්වැව 03දෙනකු, නවගත්තේගම 03දෙනකු, ආරච්චිකට්ටුව 56දෙනකු, පුත්තලම 06දෙනකු, වනාතවිල්ලුව 24දෙනකු, පල්ලම 33දෙනකු, මුන්ලම 35දෙනකු සහ මහකුඹුක්ගල්කඩවල 33දෙනකු ලෙස වාර්තා වී ඇත.

හඳුනා ගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම ඒ ඒ කොට්ඨාසවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දිනකට සිව් වතාවක් ඔවුන් රැඳී සිටින නිවාස සහ නවාතැන් පොළවල්වලට යති. දිනපතා ඔවුන්ව නිරීක්ෂණය කර උපදෙස් ලබා දීම සිදු කරන බව ද සෞඛ්‍ය නිලධාරීහු සඳහන් කරති. එසේ විමර්ශනයට භාජනය වන පිරිස් ඔවුන්ගේ නිවෙස්වල සිටම නීරෝධායනය සිදු කරති.

ජූඩ් සමන්ත - පුත්තලම