කොරෝනා වසංගත තත්ත්වයට කලාපීය වශයෙන් සාර්ථකව මුහුණ දිමේ කාර්යයට අඩිතාලම දමමින් අද දින සාර්ක් නායකයින්ගේ ටෙලි සමුළුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණා.
මෙම ටෙලි සමුළුව සංවිධානය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි පවසා සිටියේ
මුළු ලොවම මේ වන විට භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බවයි.  කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බව ඔහු පවසා සිටියා. කලාපීය වශයෙන් කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා අරමුදලක් පිහිටුවීමේ වැදගත් කම පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක මුදලක් පරිත්‍යාග කරන බවද පවසා සිටියා. සාර්ක් සාමාජික රටවල්වලට වෛරසය මැඩපැවැත්වීමට අවශ්‍ය සියලුම පහසුකම් හා සේවා ලබාදීමට ඉන්දියාව සූදානම් බවයි ඔහු තවදුරටත් පැවසුවේ.


සාර්ක් රටවලට පොදුවූ රාමුවක්තුළ හිදිමින් මෙම තත්ත්වය මැඩලිය හැකි බවයි ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රොෆ් ගානි සමුළුවට එක්වෙමින් කියා සිටියේ. විශේෂයෙන්ම සමාජීය වශයෙන් සියලුම ප්‍රජාව දැනුවත් කිරීමේ වගකීමක් සියලු  රටවලට ඇති බව ඔහු සඳහන් කළා. චීනය මීට කෙසේ මුහුණ දුන්නේද  යන්න අපට පැහැදිලිකළ හැකිනම් එය අනගි අවස්ථාවක් බවද ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ සඳහා ඉන්දියාවේ මැදිහත්වීම අගය කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙහිදී සජීවී සංවාදයට එක්වෙමින් මාලදිවයින් ජනාධිපති මොහොමඩ් සොලී පවසා සිටියේ සංවිධානයක් ලෙස සෑම ව්‍යසනයකදීම එක්ව ක්‍රියාකළ ආකාරයෙන් මේ මොහොතේ දී ද මෙම ව්‍යසන තත්ත්වයට මුහුණදීමට කටයුතු කළ යුතු බවයි. භූගෝලීය පිහිටීම අනුව තම රටට වාසිදායක තත්ත්වයක් තිබුණද සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම හේතුවෙන් මේ වන විටත් දැඩි ආර්ථික කඩා වැටීමකට තම රට මුහුණ දි තිබෙන බවද ඔහු පවසා සිටියා.  නමුත් නිසි වේලාවට අවශ්‍ය තීරණ ගෙන කටයුතු කිරීම තුළින් මෙම ව්‍යසන තත්ත්වයට සාර්ථකව මුහුණ දිමට හැකි වනු ඇති බවයි ඔහු පවසා සිටියේ.

මෙහිදි සජීවී සංවාදයට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ කලාපීය නායකත්වයේ අදහස් අත්දැකීම් හා තමන් මුහුණ දුන් අභියෝග පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීම මඟින් කොරෝනා වසංගතයෙන් ජය ගැනීමට හැකිවනු ඇති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ කලාපීය යාන්ත්‍රණයක් ගොඩනගා කඩාවැටීමට ලක්වී ඇති ආර්ථිකයන් මෙන්ම ජන ජීවිතය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි.තම කටයුතු අවුල් කර නැති බවත්ම හ මැතිවරණය  පෙර සැලසුම් කළ පරිදි  අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බවත් ඒ සමගම ඔහු කීය.


බංග්ලාදේශ් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අදහස් දක්වමින් කියා සිටියේ මෙම වසංගත තත්ත්වයෙන් මිදීමට එක්ව ක්‍රියාකළ යුතු බවයි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට තම රටේ  සම්පුර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඇය මෙහිදී පවසා සිටියා.

නේපාල අග්‍රාමාත්‍ය ෂර්මා ඔලී පවසා සිටියේ තම රට සතු තාක්ෂණික දැනුම මෙන්ම සම්පත් දායකත්වය ද කොවිඩ් නයින්ටීන් වෛරසය මැඩපැවැත්වීමට ලබා දීමට සූදානම් බවයි.

මෙම අවස්ථාවට එක්වෙමින් භූතාන අග්‍රාමාත්‍ය  ලොටේයි ෂෙරින්ග් පවසා සිටියේ වසංගත තත්ත්වය මැඩ පැවැත්වීමට එක්ව කටයුතු කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමන් ඉතාමත් සතුටුවන බවයි. මේ මොහොතේ අප හමුවේ ඇති සතුරා අපගේ දෑසට නොපෙනෙන අතර එයට දේශසීමාවන් ද නොපවතින හෙයින් එක්ව සතුරා මැඩ පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

මෙහිදී පකිස්ථාන සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ වසංගත තත්ත්වය ඇතිවීම සම්බන්ධයෙන් එක් රටකට ඇගිල්ල දිගුකළ නොහැකි බවයි. සාර්ක් සාමාජිකයින් එක්ව කටයුතු කිරීම තුළින් මෙම තත්ත්වය ජය ගත හැකි බව තම රටේ විශ්වාසය බවයි ඔහු පවසා සිටියේ.