අංගොඩ රෝහලට යාමට දැඩි අකමැත්තෙන් පසුවෙමින් රටේ ජනතාවගේ සහ තමන්ගේ ජීවිත අවදානම සමග සෙල්ලම් කළ ගල්කිස්සේ මැණික් ව්‍යාපාරික කොරෝනා රෝගියෙකු ගැන අද දින වාර්තා විය.
කොරෝනා වෛරසය වැළදී ඇති බවට ඊයේ (15 ඉරිදා) සවස තහවුරු වූ ශ්‍රී ලාංකික 11 වැනියා සම්බන්ධ මෙම අතුරු කථාව
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ හෙළි කළේ මෙවැනි අවදානම් හැසිරීම් වල යෙදෙන්නට එපා යන පණිවිඩයද ගෙන එමිනි.

ඊයේ 15 දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාදිත 45 හැවිරිදි පුද්ගලයා මීට පෙර පසුගිය 12 වනදා හදුනාගත් කොරෝනා ආසාදිත ජර්මනියේ සංචාරය කළ ශ්‍රී ලාංකිකයාගේ මිතුරෙකු වූ අතර ජර්මානු සංචාරයේදී ඔහු සමග එකට ගමන් කළ අයෙකි. මැණික් අලෙවි කිරීම හා ආශ්‍රීත ව්‍යාපාර සිදු කරන ධනවත් ව්‍යාපාරිකයින්වූ මෙම දෙදෙන මීට පෙර සතියේ ජර්මනිය ඕස්ට්‍රියාව ඇතුළු යුරෝපා රටවල සංචාරය කිරීමෙන් පසුව කොරෝනා රෝග ලක්ෂණ පහළවී පසුව එක් අයෙකු අංගොඩ රෝහලට ඇතුළත්වූ අතර 12 වනදා ඔහුට කොරෝනා වැළදී ඇති බව තහවුරු විය.

තමා සමග සංචාරයේ ගිය අනෙක් මිතුරා ගැන එම අවස්ථාවේ ඔහු වෛද්‍යවරුන්ට දන්වා සිටි අවස්ථාවේ ලබාදුන් අංක ඔස්සේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරික අනෙක් මිතුරා ගැනද රෝහල් බලධාරීන් සොයා බැලූ අතර වෛද්‍ය පරීක්ෂණයකට එන්නැයි එම තැනැත්තාට දන්වා ඇත.

සිය මිතුරාට කොරෝනා වැළදී ඇති බව දැනගත් ඔහුටද ඒ වනවිට රෝග ලක්ෂණ පහළවී තිබූ නමුත් ඔහු අංගොඩ රෝහලට ගොස් නැත.

සිය බිරිය සමග පුද්ගලික වෛද්‍යවරයා හමුවීමට ගොස් ඇති අතර රෝග ලක්ෂණ සලකා බලා කොරෝනා පරීක්ෂණය සඳහා අංගොඩ යන්නැයි පුද්ගලික වෛද්‍යවරයා උපදෙස් සපයා ඇත. නමුත් ඔහු ඊට අවනතවී නැති අතර බොරැල්ල ළය චිකිත්සාගාරයට ගොස් පසුව
කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් PCR පරීක්ෂණය සඳහා සාම්පල ලබාදීම සිදු කොට ඇත.  දැනට පුද්ගලික රෝහල් වලට කොරෝනා පරීක්ෂණ සඳහා අවසර නැතත් එම රෝහල මොහුගේ පරීක්ෂණය මුදල් ලැබෙන නිසා භාරගෙන ඇති නමුත් ප්‍රතිඵලය ලබාදෙන්නට දින 3 ක් ගතවන බව දන්වා ඇත.

මේ අතර කාලයේ මෙම රෝගියාට අවස්ථා ගණනාවකදී රජයේ  බලධාරීන් අංගොඩට පැමිණ පරීක්ෂාවක් සිදුකරගන්නැයි දන්වා ඇතත් ඔහු පැමිණ නැත. වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ මෙම පුද්ගලයාගේ අංකය ඇමතුම් ගැනීම නතර කළ විට බිරිය පමණක් ඇමතුම් වලට උත්තර දුන් බවත් ඇයද පසුව මගහැරිය බවයි.

අනතුරුව මෙම පුද්ගලයාගේ ගල්කිස්සේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොමු කොට මෙම පරීක්ෂණය සිදු කරන්නට ඔහුව රැගෙන එන්නට පවා ගොස් ඇති මුත් ඔහු එයද මගහැරිය බව කියැවේ.

රජයේ රෝහලකට ඇතුලත් නොවී නිවසටවී සිට ඇති මෙම පුද්ගලයා අනතුරුව ඇතිවූ අසාධ්‍ය තත්වය මත කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර තත්වය වටහාගත් කළුබෝවිල රෝහල් වෛද්‍යවරුන් ඔහු එසැණින් ගිලන් රථයක් මාර්ගයෙන් අංගොඩ රෝහල වෙත යොමු කර ඇති අතර කොරෝනා පරීක්ෂාවෙන් ඔහු ඊයේ (15) ධනාත්මක විය.
ඔහු මේ වනවිට අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
කොරෝනා වැළඳී ඇති බවට බොහෝ සාධක පෙනි පෙනී තිබියදී තමන්ගේත් සමීපතමයින් හා පොදු ජනතාවගේත් ජීවිත අවදානමට ලක්කරමින් ඔහු දින කිහිපයක්ම නිදැල්ලේ සිටීම ගැටලුකාරී වූ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දන්වා සිටියේය.

 කරුණු වසන් කළ රෝගියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.