මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත පුද්ගලයින්ට මැලේරියා රෝගීන්ට ලබා දෙන ඖෂධය ලබා දීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් නමැති මෙම ඖෂධය කොරෝනා ආසාදිතයන් සඳහා සංකූලතා අවම කරවන්නක් ලෙස
අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් ඊයේ (20) අනුමත කර තිබෙන අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඒ ගැන තහවුරු කළේය.
මෙම ඖෂධය මෙරට කොරෝනා ආසාදිතයින්ට ලබාදිම සඳහා නිර්දේශ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුවද තීරණය කර ඇත.
මෙම ඖෂධය ලබාදීමෙන් පසු
කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතාවල යම් තරමක අඩුවක්  මතුවන බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත.
මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් (HYDROXYCHLOROQUINE) ඖෂධය IDH රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බරපතල තත්වයේ පසුවන කොරෝනා ආසාදිතයින් දෙදෙනාට ලබාදිම දැනටමත් ආරම්භ කර ඇති බවද අද උදෑසන වාර්තා විය.
මැලේරියා රෝගීන්ට ලබා දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය රෝගී නොවන සාමාන්‍ය පුද්ගලයින් භාවිත කිරීම අතුරු ප‍්‍රතිඵල ගෙනදිය හැකි බැවින් ඒ ගැන දැනුවත්ව වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කරන්නට අලෙවි කරන  ලෙසද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දන්වා ඇත.