(March 14 -7.25 pm)
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර දන්වා සිටියේ කොරෝනා ආසාදිත කාන්තාවන් දෙදෙනකු හදුනාගත් බවයි. ඉතාලියේ සිට පැමිණි 56 හැවිරිදි කාන්තාවක හා කොරෝනා වැළදුන අයකුගේ පවුලකට සම්බන්ධ 17 හැවිරිදි තරුණියකට
මෙම රෝග තත්වය පවතින බව ඔහු දන්වා සිටියේය. ඒ අනුව දැනට ආසාදිතයින් ගණන 10 ක්වා ඉහළ ගොස් ඇත.

(March 14 -6.40 pm)
මෙරටින් කොරෝනා ආසාදිත 8 වෙනි පුද්ගලයාත් හඳුනාගත් බව අද සන්ධ්‍යාවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයකින් දන්වා ඇත.42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහු  පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්
පැවසිණි. ඔහු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ අයෙකි.
අද සවස ලැබෙන වාර්තා අනුව  තවත් කොරෝනා රෝගීන් හමුවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවැත්වූ මාධ්‍ය හමුවේදීද පුරෝකථනය කර තිබුණි.

(March 14 -3pm)
කොරෝනා ආසාදිත ඊයේ  වාර්තාවූ 05 දෙනාට අමතරව තවත් ශ්‍රී ලාංකික රෝගීන් දෙදෙනෙකු අද (14) වන විට අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබේ.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී හදුනා ගත් ඔවුන් දෙදෙනා
ඉතාලියේ සිට පැමිණි අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේය.

අද දිනයේදී තහවුරු වූ පුද්ගලයින් දෙදෙනා ගෙන් එක් අයෙක් 44 හැවිරිදි වියේ පසුවන අය අතර ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි. ඔහු කන්දකාඩු හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන අතර ඔහු මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම අනෙක් රෝගියා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුද ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා කොරෝනා නිරෝදායනයට අකමැතිවී කටුනායක ගුවන් තොටුපලේදී පළා ගොස් තිබූ බවත් පසුව රෝග ලක්ෂණ මතුවී රෝහල් ගතවූ බවත් වාර්තා විය.

ඔහු මේ වන විට ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේය.
අද සවස් වන විට තවත් කිහිප දෙනෙකුද හදුනාගැනීමට හැකි වනු ඇතැයි  ඔහු තවදුරටත් කියා සිටියේය.