යාර් බස් සමාගමෙන් ගුවන්යානා මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුවී යැයි කියන සිද්ධියට අඳාළව දින 28ක් රිමාන්ඩ් බාරයේ පසුවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල  චන්ද්‍රසේන
මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියුමාලි විජේනායක යන දෙදෙනා රුපියල් ලක්‍ෂ 20 බැගින් වන මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 200 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදුහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (4) නියෝග කළේය. සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කිරීම් නියෝගයක් ද නිකුත් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියම කළේය.

ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමට ගුවන්යානා බලඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමට යෑමේදී මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වරදක්  සිදුකළැයි කියන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (4)  අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මේ දෙදෙනාට මෙසේ ඇප නියම කෙරිණි.  මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වන ශ්‍රී ලංකන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තූවේ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයසුන්දර, පොලිස් සැරයන්  රුවන් යන නිලධාරිහු සිද්ධියට අදාළ වැඩිදුර වාරිතාවක් ද සමග අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්ඳුවහෙට්ටි, ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න, නීතිඥ යසස් ඒකනායක, නීතිඥ කෞෂල්‍යා රාජපක්‍ෂ, නීතිඥ සාවිත්‍රී ඔබේසේකර යන මහත්ම මහත්මීහු  පෙනී සිටියහ. සිද්ධියට අදාළව අධිකරණයට වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මෙසේ ද පැවැසීය.


“මෙහි ප්‍රධාන කාරණය වන්නේ මෙහි දෙවැනි සැකකාරියගේ නමින් පවත්වාගෙන ගිය බිස් සොලියුෂන් ඉන් කෝපරේෂන් (Biz Solution Inc) කියන සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් ලැබීමේ සිද්ධියයි. එම මුදල යම් යම් ස්ථානවලට ප්‍රේෂණය වෙලා තිබෙනවා. ඉන් කොටසක් පළමුවන සැකකරුගේ නමින් තිබූ ඕස්ට්‍රේලියානු ගිණුමකට බැරවී තිබෙනවා. එමෙන්ම එයින් යුරෝ එක්ලක්ෂ හැටදහසක මුදලක් ශ්‍රී ලංකාවේ එක්තරා ගිණුමකට බැරවී තිබෙනවා. එම ගිණුම ඇබ්රෝ පුද්ගලික සමාගම (SL Abro Pvt. Ltd.) නමින් තමයි බැරවී තිබෙන්. එම සමාගමට සම්බන්ධයෙන් ප්‍රකාශ තුනක් සටහන් කරගත්තා. එම සමාගම් අධ්‍යක්ෂවරයෙක් ප්‍රකාශයක් දෙමින් සඳහන් කළේ ඔහුගේ මිතුරකු වන යොහාන් අබේරත්න යන අයගේ ඉල්ලීමක් මත තම ගිණුමට මෙම මුදල් ගෙන්වාගත් බවයි.

යොහාන් අබේරත්නට අවශ්‍යතාවක් තිබුණා සිංගප්පුරුවේ තිබුණු මුදල් මේ පුද්ගලයා හරහා ගෙන්වා ගන්න. යොහාන් අබේරත්න යන අය හදිසි හෘදයාබාධයකින් ඉකුත් වසරේ මිය ගොස් තිබෙනවා. ඔහු වයස අවුරුදු 27ක තරුණයෙක්. ඔහු මියගිය නිසා මේ මුදල් සම්බන්ධ විමර්ශනය එතැනින් නතර වෙනවා. මෙම සමාගම සම්බන්ධයෙන් සැලකීමේදී නිවැරැදි ලිපිනයක් නැහැ. ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථාපිතයි කියලා තමයි තිබුණේ. මෙම සමාගම ඩෙවල් කියන සමාගම සමග අලිගැටපේර වැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර පවාත්වාගෙන යන බව තමයි සඳහන් වන්නේ. ඉතිරි මුදල් මේ අධ්‍යක්‍ෂවරයා ලබාගෙන තිබෙනවා. ඔහු මුලින් කිව්වේ වෙනත් කෙනකු නිසා මෙය ගත්තා කියලා. නමුත් ඔහු මේ සල්ලි අරගෙන. ඒ වගේම භෞතිකව චෙක්පත් දෙකක් දිලා. ඒවා මුදල් කරගෙන තිබෙන්නේ සාරංග විජයනාත් හඳුවල කියලා කෙනෙක්. ඔහුගේ ලිපින බොරු ඒවා. මේ වනවිට ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉන්නවා කියා දැනගත්තා. හෙට දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපර්තමේන්තුව වෙත පෑමිණ ප්‍රකාශයක් ලබාදෙන්න කියා ඔහුට නොතීසීයක් යැව්වා.

මෙම දෙවැනි සැකකාරීය කියනවා එයා තමන් නමින් ගිණුමක් තිබුණා කියලා දන්නේ නැතිලු. මුදල් ලැබුණා කියලාවත් දන්නේ නැතිලු. මෙහි නිමල් පෙරේරා යන අයගෙන් ප්‍රකාශයක් ලබාගත්තා. ඔහු සඳහන් කරන්නේ මේ මුදල් තමන්ගේ ගිණුමට ලැබුණා කියලා තමා දන්නේ නැති බව. අධිකරණය ඩොලර් ලක්‍ෂ 8ක් තමන්ගේ ගිණුමට ආවාම ඒක දන්නේ නැති මිනිස්සු මේ රටේ ඉන්නවා නේද?


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා-  එයා කියනවා සිංගප්පූරුවට ගිහින්  බලන්න ඕනෑ කියලා. නමුත් ඒ ඉල්ලීමට ඉඩ දෙන්නේ බැහැ. මොකද ඔහු නැවත එයි ද නොඑයි ද කියා විශ්වාස කරන්න බැහැ. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ තම සේවාදාකයා රක්ෂිත බන්ධනාගාරගත කරගෙන සිටීම වරදට  දඬුවමක් නොවන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප ලබාදෙන ලෙසය.
මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් නොවන බවත්, ගිණුම් වලට මුදල් ලැබීම පමණක් විමර්ශනය වන බවය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ඇප පනතේ 14 චන වගන්තිය ප්‍රකාරව සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැමිණිල්ල විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැති නිසා සැකකරුවන් ඇප මත මුදාහැරීමට නියම කළේය. සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ලබන අප්‍රේල් මස 29 වැනිදාට කල් තැබිණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පළල් බඳ සහිත නව ගුවන්යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ  මහතා විසින් ඉකුත් 2016 වර්ෂයේ අගෝස්තු මස 3 වැනිදාය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ප්‍රංශයේ එයාර් බස් එස් ඒ එස්  (Air Bus S A S) සමගම සමග A 350-900 වර්ගයේ ගුවන්යානා 4ක් සහ A 333-300 වර්ගයේ ගුවන්යානා 6ක් මිලදී ගැනීම සඳහා අවබෝධතා ගිවිසුම් 2කට 2013 මාර්තු මස 16 වැනි දින එළැඹ ඇති බවට අනාවරණය වී ඇති බවත්, කපිල චන්ද්‍රසේන යන අය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ඉකුත් 2011 අගෝස්තු මස 1 වැනිදා සිට 2015 ජනවාරි මස දක්වා එම තනතුරේ කටයුතු කර ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Britannia House 22, 2nd Floor, Cator Road, Babdar Begawan, Bs 8811, Brunei, DartislaIl ලිපිනයේ පිහිටි බිස් සොලියුෂන් ඉන් කෝපරේෂන් (Biz Solution Inc) සමාගම බෘෘනායි රාජ්‍යයේ ආරම්භ කර ඇති බවත් එම සමාගම ප්‍රංශයේ එයාර් බස් එස් ඒ එස් සමාගම සමග ගිවිසුමකට එළඹ ඇති බවත් එම ගිවිසුමේ අරමුණ වත්මන් එයාර් බස් සමාගමේ නිෂ්පාදන ප්‍රවර්ධනය වශයෙන් දක්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම බිස් සොලියුෂන් ඉන් කෝපරේෂන් (Biz Solution Inc) සමාගමේ එකම කොටස් හිමිකාරිනිය වන්නේ ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය බවත් ඇයට ශ්‍රී ලංකන් සමාගමට අදාළව කිසිදු සේවා පළපුරුද්දක් නොමැති බව අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.

-නිමන්ති රණසිංහ-