රුපියල් දෙකෝටි හතළිස් හතර ලක්ෂ අසූ නවදහස් හාරසිය අසුවක් 2,44,89,480) වටිනා රත්තරන් තොගයක් නීති විරෝධී ලෙස කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ගුවන්තොටුපොළ තීරු බදු රහිත
සාප්පු සංකීර්ණයේ සේවකයන් දෙදෙනකු ඊයේ (4දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවැසීය.
මොවුන් ගුවන්තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සෙල්ලම් බඩු සහ ඇඳුම් අලෙවි කරන සාප්පු දෙකක සේවය කරන තරුණයන් දෙදෙනෙකි. මින් එක් තරුණයකු 25 වන වියේ පසුවන අතර දන්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් තරුණයා 26 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


ඊයේ (4) උදැසන 8.00ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරින් විසින් සිදු කර තිබිණි. ඔවුන් ඇඳ සිටි කලිසම්වල සාක්කුවල සහ ඉණ ප්‍රදේශයේ මෙම රත්තරන් තොගය සඟවාගෙන තිබී ඇති අතර එහි කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 103ක් බර ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ රත්තරන් කැබැලි තොගයක් ද තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම අත්අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ජී.ඩී. දිල්හාර, ඩබිලිව්.එම්.එම්.පී. ධර්මරත්න, පී.ඩබලිව්.කේ. ද ලංකා, ඩී.ආර්.එස්.බී. දසනායක, එච්.ජී.එල්. සමන්ත සහ ඩබලිව්.එච්.කේ.එච්. පෙරේරා යන
මහත්වරුන් විසින් සිදු කර තිබිණි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්‍ෂ ආර්.බී. ගන්කේවෙල මහත්මියගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන ඩී.පී.එම්. ගුණවර්ධන සහ එස්.පී. අරුක්ගොඩ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ රේගු අධිකාරී ටී. ලෝගනාදන් මහතා විසින් සිදු කර තිබිණි.

- ටී.කේ.ජී. කපිල -