මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට නාම යෝජනා ලබාදීමේදී හා ජාතික ලැයිස්තුවට මහජන නියෝජිතයන් ඇතුළත් කිරීමේදී කිසිඳු භික්ෂූන් වහන්සේ නමකගේ නාම යෝජනා නොපිළිගන්නා ලෙස බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.
එමෙන්ම ගිහි පුද්ගලයන් හට නාම යෝජනා ලබාදීමේදී බරපතළ වැරදිවලට සම්බන්ධ ජනතාවගේ පිළිකුලට ලක්වූවන්ට මෙන්ම මත්පැන්, කැසිනෝ, සූදු බලපත්‍ර ඇති පුද්ගලයන්ටද අපේක්ෂකත්වය ලබා නොදීමට කටයුතු කරන මෙන් බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය සඳහන් කර සිටී.

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සභාපති දිවියගහ යසස්සි හිමි සහ ලේකම්වරුන් වන ත්‍රිරිකුණාමලේ ආනන්ද , අගලකඩ සිරිසුමන යන හිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.

පසුගිය කාලයෙහි දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් කළ ඇතැම් මහජන නියෝජිතයන් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවීමේදී ඉතා දූෂිත ලෙසින් සහ සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරතවෙමින් ජනතා අපේක්ෂා බිඳ දැමූ බවද එම නිවේදනයේ දක්වා තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු රැස්වීම්වලට පවා සක්‍රීයව සහභාගි නොවෙමින්, විනය සහ හැසිරීම ඉතාම පහත් මට්ටමක පවත්වමින්, පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසීමට කටයුතු කළ බවද එහිදී පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා ජනතා නියෝජිතයන් වීමට සුදුසු පුද්ගලයන්ගේ නාම යෝජනා ඉදිරිපත් කිරීම සියලු දේශපාලන පක්ෂවල වගකීම බවද බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

- චාමර සම්පත් -