තුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, සය හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පනාගොඩ දැඩිගමුව
වැලිකඩයාවත්ත අංක 321/F හි පදිංචි අශෝකා රත්නමාලී (36) නම් දෙදරු මවක බව පොලිසිය කියයි.


මියගිය කාන්තාව තම සය හැවිරිදි දරුවාගේ අක්ෂි ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට යමින් සිටිය දී හබරකඩ හන්දිය ආසන්නයේ යතුරු පැදිය තවතා අලෙවිසලකට යාමට සැරසෙනවාත් සමගම ඉදිරියෙන් පැමිණි කළුගල් පැටවූ ටිපර් රථයක් යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී ඉදිරියට එමින් තිබූ ටිපර් රථය දුටු කාන්තාව තමා අසල සිටි සය හැවිරිදි දරුවා පසෙකට තල්ලු කර ඇතැයි ද පැවසේ. එසේ නොවන්නට දරුවාට ද බරපතළ හානි වන්නට තිබූ බව කියයි.

අනතුරින් තුවාල ලැබූ පාසල් දරුවා ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා සිදු කළ අතර, හිසට පපුවට හා උදරයට සිදු වූ බහුවිධ තුවාල, අභ්‍යන්තර රුධිර වහනය හා කම්පනය මරණයට හේතුව බව හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.

මෙම අනතුරට සම්බන්ධ ටිපර් රථ රියැදුරු සිද්ධිය වීමෙන් පසුව පලාගොස් තිබූ අතර, පසුව පොලිසියට බාරවී තිබුණි. අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-